FAST NEWS

24×7 Around the Globe

යාපනයේ සරසවි සිසු මරණ ගැන සොයන්නැයි ජනපති කියයි..

ඊයේ (21) යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටියදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයා සියලු අංශවලට උපදෙස් ලබාදී ඇත.

එලෙස විධිමත් පරීක්ෂණ සිදුකර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් 05 දෙනා සති 02ක කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කොට ඇත.

ඒ ඔවුන් අද (22) යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ පොලිස් රියදුරෙකි.

අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔවුන්ගේ සේවය වහා අත්හිටුවීමට ද පියවර ගෙන තිබිණ.

යාපනය මහේස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා නියෝග කොට ඇත්තේ අදාළ පොලිස් නිලධාරින් 05දෙනා අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තබන ලෙසයි.

එමෙන්ම, ඔවුන් ලබන සදුදා නැවතත් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.