FAST NEWS

24×7 Around the Globe

හදිසි විදුලි බිඳවැටීමකින් පාරිභෝගිකයන්ට වන්දි ගත හැකියි….

හදිසි විදුලි බිඳවැටීමක් ඇතුළු විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් කඩ වන අවස්ථාවලදී ඒ වෙනුවෙන් පාරිභෝගිකයන්ට වන්දි ලබාදීමේ ක්‍රමවේදයක්  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින් හඳුන්වාදී තිබේ.

මේ යටතේ ස්වභාවික ආපදාවක් හැර හදිසි විදුලි බිඳවැටීමකදීද, නව විදුලි සැපයුමක් ලබාගැනීමේදී ඇති වන ප්‍රමාද, විදුලි මීටර් පරීක්ෂා කිරීමේ ප්‍රමාදයන් සහ විදුලි බිල්පත් ගෙවීම සමබන්ධ ගැටලු වලදී යම් කාලසීමාවකට යටත්ව පාරිභෝගිකයා වෙත වන්දි ගෙවීමට නියමිතය.

ඊට අමතරව විදුලි කණුවක් වෙනස් කිරීමේ ප්‍රමාදයන්, නව සැපයුමක් ලබාගැනීමට ඇස්තමේන්තුවක් ලබා ගැනීමේ ප්‍රමාදයන් වලදීද පාරිභෝගිකයාට වන්දි ගෙවනු ඇත.

ඒ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ රෙගුලාසි 4ක් සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

එ අනුව මෙම රෙගුලාසි ඉකුත් ජූලි මස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර ඉදිරියේදී එම රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේම මෙම වන්දි ගෙවීමේ ක්‍රමවේදයන් ඉදිරි වසර තුන තුළදී සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත යැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා  කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.

මෙම වන්දි ගෙවීමේ ක්‍රමවේදයන් පිළිබඳව ඉදිරියේදී අදාළ ආයතන දැනුම්වත් කිරීමට නියමිත අතර එම ආයතන වලට පැමිණිලි කිරීමෙන් පසුවද යම් පාරිභෝගිකයෙක්ට අසාධාරණයක් වේ නම් මහජන උපයෝගිතා කොමිසම එම පාරිභෝගිකයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවද ඒ මහතා පැවසීය.

ඒ අනුව විදුලිය බෙදාහැරීම පිළිබඳ රෙගුලාසි මඟින් ගුණාත්මක විදුලි සැපයුමක් තහවුරු කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම ගත යුතු ක්‍රියාමාර්ග දැක්වේ.

අදාළ ප්‍රමිතීන් අනුව පාරිභෝගිකයාට විදුලිය සැපයීමට එම ආයතන අ‍පොහොසත් වන අවස්තාවලදී පාර්භෝගිකයාට සහන සැළසීමේ ක්‍රමවේදයක් මෙම යාන්ත්‍රණයට ඇතුළත් වේ.

එසේම විදුලි බල සේවාවේ දෝෂ නිසා පාරිභෝගිකයන්ගේ විදුලි උපකරණ වලට වන හානි සඳහා වන්දි ගෙවීමේ ක්‍රමවේදයක්ද මීට ඇතුලත් වේ.

එසේම නව විදුලි බල සේවා ලබාදීමේදී හා පාරිභෝගික අවශ්‍යතා සඳහා කඩිනමින් පියවර ගැනීම සඳහාද ලංකා විදුලි බල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට ඉලක්ක ලබාදී ඇත. එහිදී ඇති වන අනිසි ප්‍රමාදයන් වලටද පාරිභෝගිකයන්ට වන්දි ගෙවීමට සිදු වනු ඇත.

ඊට අමතරව සම්ප්‍රේෂණයේ කාර්යසාධනය පිළිබඳ රෙගුලාසි සහ විදුලිබලයේ ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ අඛණ්ඩභාවය පිළිබඳ රෙගුලාසි සහ ඉල්ලුම් පාර්ෂව කළමණාකරණ රෙගුලාසි ලෙසද රෙගුලාසි තුනකි.

විදුලිබල සේවාවෙහි ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාවය වැඩි කිරීමත් පාරිභෝගිකයන්ට වන්දි ගෙවීම සහ විදුලිබල සංරක්ෂණය යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට මෙමඟින් අපේක්ෂා කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට කොමිසමේ සභාපති සාලිය මැතිව් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි හේරත් යන මහත්වරුද සහභාගී වූහ.