FAST NEWS

24×7 Around the Globe

උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වුවත් “පෝට්‌ සිටි” නවත්තන්න බෑ..

උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වුවත් “පෝට්‌ සිටි” ව්‍යාපෘතිය නතර කිරීමේ හැකියාවක්‌ නැතැයි මහා නගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා ඊයේ (17 වැනිදා) පැවසීය.

මීගමුව ප්‍රදේශයේ ධීවර ප්‍රජාව සහ ඇතැම් ආගමික නායකයන් කොළඹ නව ජාත්‍යන්තර මූල්‍ය නගරය හෙවත් “පෝට්‌ සිටි” ව්‍යපාතිය නිසා ධීවර ජනතාව පීඩාවට පත් වන බව පවසමින් මීගමුව- කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කර උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වුවන් එය නතර කළ නොහැකි යෑයි ඒ මහතා කියා සිටියේ ඊයේ (17 වැනිදා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

මෙම “පෝට්‌ සිටි” ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ධීවර සංගම්, පාරිසරික, නීනිමය, ආර්ථිකමය වාර්තා ඇතුළු අධ්‍යයනයන් රැසක්‌ සිදු කර ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග අනුව ව්‍යාපෘතිය ආරම්භ කළ බවත් එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ධීවර සංගම් වෙත මෙම ව්‍යාපෘතියෙන් යම් අගතියක්‌ සිදු වන්නේ නම් මහා නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කරන ලෙස දැනුම් දුන් බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

ඩොලර් බිලියන 1.4 ක්‌ යොදා හෙක්‌ටෙයාර් 269 ක්‌ ගොඩ කර ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් අපේ රටට වාසි රැසක්‌ උදාවන බවද අමාත්‍යවරයා කීය.

මේ වන විට ව්‍යාපෘතියට අවශ්‍ය වැලි කැණීම් කරන ප්‍රදේශයෙන් ධීවරයන් නෙළා ගන්නා මත්ස්‍ය සම්පත් අඩුවක්‌ සිදු වන්නේ නම් ඒ සඳහා මුදල් ගෙවීමට මේ වන විට මුදල් වෙන්කර ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.