FAST NEWS

24×7 Around the Globe

නව ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් නෑ !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ලක් කිරීම මඟහැරීමේ සූදානමක් පවතිනවාද යන්න පිළිබඳව දැඩි අවධානයකට යොමු වී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂය කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර පසුගිය සිකුරාදා (30) සවස හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ජනමත විචාරණයකට මේ අවස්ථාවේදී ගමන් කිරීම වාසිදායක නොවන නිසා ජනමත විචාරණයකට තුඩු නොදෙන කරුණු පමණක් සංශෝධන වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කිරීමේ සූදානමක් පවතිනවාද යන්න පිළිබඳවද දැඩි අවධානයකින් සිටිය යුතු බවටද මෙහිදී තීරණය වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි වගන්තියේ ඒකීය ශ්‍රී ලංකාවක් යන වගන්තිය වෙනස් නොකොට ෆෙඩරල් ලක්ෂණ සහිතව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කටයුතු කළහොත් ඒ ගැන දැඩි අවධානයකින් පසුවිය යුතු බවටද මෙහිදී තීරණය වී තිබේ.

රටේ ඒකීයභාවය, ජාතික ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් ගැන දැඩි අවධානයකින් සිටිය යුතු බවත් එම කරුණුවලට අභියෝගයකට ලක්වන කුමන කරුණක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමේ උත්සාහයක් පවතින්නේ නම් එයින් වැළැක්විය යුතු ආකාරය ගැනද මෙහිදී සාකච්ඡා වී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.