FAST NEWS

24×7 Around the Globe

පොලීසියේ වැටුප ඉහළ දැමේ…

සියලුම පොලිස් නිලධාරීන්ගේ මූලික වැටුප මේ මස වැටුපේ සිට 17% කින් ඉහළ දැමීමටත් එම වැටුප් වැඩිවීම මේ වසරේ ( 2016) ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමටත් රජය තීරණය කර තිබේ.

පසුගිය අයවැය යෝජනාවකට අනුව සෑම පොලිස් නිලධාරියෙකුගේම වැටුප මේ වසරේ (2016) ජනවාරි මාසයේ සිට 20% කින් ඉහළ දැමීමට යෝජනා විය.

මේ අනුව ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවිය යුතු 17% වැටුප් වැඩි වීම මේ මස වැටුප සමග ගෙවීමට තීරණය කර තිබේ.

මෙම යෝජනාව ලබන වසරේ (2017) ජනවාරි සිට ක්‍රියාත්මක කර හිඟ වැටුප් ලබාදීමට මුලින් සැලසුම් කර තිබුණද, නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මැදිහත්වීම මත 17% කින් වැටුප් වැඩිවීමක් මේ මාසයේ වැටුපේ සිට ලබාදීමට යෝජනා කලේය.

අදාළ වැටුප් වැඩිවීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සී.වී. වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතු ලිපියකින් ජෙ.පොලිස්පතිවරුන්ට, කොට්ඨාස භාර නිලධාරීන්ට, අධ්‍යක්ෂකවරුන්ට, අණදෙන නිලධාරීවරුන්ට, ගණකාධිකාරීවරුන්ට, දිස්ත්‍රික් භාර නිලධාරීවරුන්ට හා මූලස්ථාන පොලිස් පරීක්ෂක පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා යවා තිබේ.