FAST NEWS

24×7 Around the Globe

සාම්පුර් නැත්නම් 2019 දී විදුලි අර්බුදයක් හා රුපියල් බිලියන 10 ක පාඩුවක්…

සාම්පූර්හි යෝජිත ගල්අඟුරු බලාගාරය ඉදි නොකළහොත් 2019 වනවිට විදුලි අර්බුදයකට ලක්වන බව ලංකා විදුලි බලමණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

එසේම යෝජිත බලාගාරය ස්වාභාවික වායු බලාගාරයක් බවට පත් වුවහොත් එමගින් රටට වාර්ෂිකව රුපියල් බිලියන10කට වැඩි මුදලක් අහිමි වන බවද එම සංගමය පෙන්වා දෙයි.

පුනර්ජනනීය බලශක්ති ක්‍රම යටතේ සූර්ය බලය, සුළං බලය හා ස්වභාවික වායු මගින් විදුලි බලය උත්පාදනය කිරීමේ කටයුතුවලට යායුතු බවත්, එවැනි කටයුතුවලට යෑමට නම් මුලින්ම රට සංවර්ධනය කළ යුතු බවද එම සංගමයේ සභාපති ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

රටේ ආර්ථිකය විදුලි බලය හා බැඳී පවතින බවත්, එම කටයුතු සඳහා අඩු මුදලට විදුලිය ලබාදිය යුතු බවත් හෙතෙම කියා සිටියේය.

එසේම විදුලි ඒකකයක් අඩු මුදලකට ලබාදීමට නම් ගල්අඟුරු උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කළ යුතු බවත්, ගල්අඟුරු භාවිත කර විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වියදම් වන්නේ රුපියල් 4 ශත 50 ක මුදලක් බවත් ඉංජිනේරුවරයා පවසා සිටියේය.

එහෙත් පුනර්ජනනීය බලශක්තිය යටතේ සුළං විදුලිය ගැන කතා කළද එහි ඒකකයක් රුපියල් 22කට වැඩි මුදලක් වන බවත්, ඉන්ධන භාවිත කර නිෂ්පාදනය කරන විදුලි ඒකකයක්ද රුපියල් 17 ඉක්මවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලය නිෂ්පාදනය කරන ජල විදුලිය සඳහා ශත 50 – රුපියල් 1.50 අතර මුදලක් වැයවන බවද අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

මීට අමතරව සූර්යබල විදුලි ඒකකයකට රුපියල් 23කට ආසන්න මුදලක් වැය කර මිලදීගැනීමට සිදුව තිබෙන බවත්, එයට හේතු වී තිබෙන්නේ විදුලිබල මණ්ඩලයට සූර්ය හෝ සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට මෙතෙක් හැකියාව ලැබි නොමැති හෙයින් පෞද්ගලික අංශයෙන් මෙවැනි දේවල් මිලදී ගැනීමට සිදු වීම බව හෙතෙම පවසා සිටියේය.

ගල්අඟුරු බලාගාරවලින් පරිසර හානියක් සිදුවන බවට හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යන බවටද බිල්ලෙකු මවාපාමින් සිටින බවත්, එහෙත් පොදුවේ අප රට තුළින් විශාල හානියක් සිදු නොවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ලෝකය වසරකට කාබන්ඩයොක්සයිඩ් වායුව මෙට්‍රික් ටොන් මිලියන 32,000 ක් වාතලයට මුදාහරින බවත්, එම ප්‍රමාණයෙන් ලංකාව මුදාහරින්නේ මෙට්‍රික් ටොන් 15 ක් පමණක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මේ නිසා අප සියලුම සංවර්ධන කටයුතු නවතා දමා කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම නතර කළ පමණින් ලෝකය ආරක්ෂා නොවන බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා සාම්පූර් ගල්අඟුරු බලාගාරය ස්ථාපිත කරගැනීම සඳහා අරගල කිරීමට පවා සූදානම් බවත් හෙතෙම තවදුරටත් පවසා සිටියේය.