ප්‍රාදේශිය පරිපාලනය දුර්වල වුවහොත් සමස්ත රටේම පරිපාලනය අඩපණ වන බවත් ඒ නිසා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස කඩිනමින් තීරණ ගෙන ඒවා මහජනතාවගේ යහපත පිණිස ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේය.
ඊයේ (29) ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී සමුළුවක් අමතමින් හෙතෙම මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල දැඩි කතාබහට ලක් වෙනවා. එතුමාගේ ඒ කතාව සම්පූර්ණයෙන්ම බොහෝ මාධ්‍යවල පළ වුණේ නැහැ. ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරන්නේ මම සිංහල ජනතාවට, බෞද්ධයන්ට හෝ වෙනත් ජාතියකට විරුද්ධව නොව කටයුතු කරන්නේ කියලා. එම ප්‍රකාශය නිවැරදිව වටහා නොගෙන, ජාතින් අතර සංහිඳියාවට බාධා එල්ල කිරීමට දැවැන්ත උත්සාහයක පිරිසක් නිරත වෙනවා. ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය නැවත නැවත මාධ්‍යයේ පළ කිරීම වැදගත් යැයි මම සිතනවා. යාපනය, මඩකළපුව පසුගියදා පැවැති අපේ උත්සව අවස්ථාවන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලුම දේශපාලන නියෝජිතයින් සහභාගි වී සිටියා. එහිදී ඔවුන් සියලුම දෙනාටම ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අපි අවස්ථාව ලබාදුන්නා.” යැයි කීය.