FAST NEWS

24×7 Around the Globe

උතුරු නැගෙනහිර ගැන TNA ස්ථාවරයේ වෙනසක් නැති බව සුමන්තිරන් කියයි…

උතුරු නැගෙනහිර පළාත් ඒකාද්ධ පාලන කලාපයක් ලෙස පැවතීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය දක්වන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ.සුමන්තිරන් වව්නියා අධිකරණ පරිශ්‍රයේදි මාධ්‍ය හමුවේ  පැවසීය.

එසේම එම පළාත් දෙක ඒකාබද්ධ විය යුත්තේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගේ එකඟතාවකින් යුතුව බවත් ඔහු අවධාරණ කර සිටියේය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොටි සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක වේලායුදන් දයානිදි හෙවත් දයා මාස්ටර් ට එරෙහිව වව්නියාව මහාධිකරණයේ විභාග වන නඩුවේ දයා මාස්ටර් වෙනුවෙන් පෙනී සිටීමෙන් අනතුරුව සුමන්තිරන් මහතා මේ අදහස් පළ කළේය.

එසේම 2010 වසරේ සිට දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයන්හි උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධව පැවතිය යුතු යැයි සෘජුවම සදහන් කර තිබෙන බවත් එම ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත් හෙතෙම මෙහිදි   පැවසීය.

මේ දෙපළාත ඒකාබද්ධව පැවතීම සම්බන්ධයෙන් මුලින්ම කතාබහට ලක්වූයේ 1957 බන්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමෙන් බවද මෙම පළාත් ඒකාබද්ධ කිරීමට නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගේ බහුතර කැමැත්ත අවශය බවත් මුස්ලිම් ජනතාවට සම අයිතිය හිමීවිය යුතු බවත් ඔහු වැඩි දුරත් පෙන්වා දුන්නේය.