FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික සෞඛ්‍ය සේවාව වැට් බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලයි..

පෞද්ගලික සෞඛ්‍ය සේවාව වැට් බද්දෙන් නිදහස කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය ජනාධිපතිවරයා වෙත අවධාරණය කරයි.

නව වැට් බද්ද සදහා කැබිනට් අනුමැතිය ලබා දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ප්‍රකාශ කරන අතර ඒ අනුව බාහිර රෝග සේවා හැර පෞද්ගලික සෞඛ්‍ය අංශයටත් වැට් බද්ද ක්‍රියාත්මක වන බව තවදුරටත් ප්‍රකාශ කර ඇති අතර එය ඉතාම අසාධාරණ වන බව සඳහන් කරමින් එම මධ්‍යස්ථානයේ සභාපති රංජිත් විතානගේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

“පුද්ගලික අංශයෙන් සෞඛ්‍ය සේවා ලබා ගැනීමට පෙළෙඹෙන්නේ රාජ්‍ය රෝහල් මගින් සෞඛ්‍ය සේවා ලබා ගැනිමට තිඛෙන දුෂ්කරතාව නිසා ය. තවද පුද්ගලික සෞඛ්‍ය අංශය මගින් සිය සේවා කටයුතු පවත්වාගෙන යාම නිසා රජයේ රෝහල් සඳහා කරනු ලබන වියදම අවම වේ. පුද්ගලික සෞඛ්‍ය අංශයට නැවතත් වැට් බද්ද ගැසීම තුළින් සිදු වන්නේ රජයේ රෝහල් වෙත නැවත ජනතාව යොමුවීම හා රජයේ රෝහල්වල වියදම තවත් වැඩිවීමයි.

මේවනවිටත් කොළඔ මහරෝහල පවා ඉන්ජෙක්ෂන් සිරින්ජරයේ සිට බොහෝ ඛෙහෙත් පුද්ගලික ෆාමසිවලින් ලබා ගැනීමට තුණ්ඩු ලියා දෙනු ලබයි. මෙම කටයුතුවලින් පිඩාවට පත් වන්නේ ඔබතුමා හා අප ඇතුළු මෙරට පීඩිත පංතියයි. ඔබතුමා වැනි ගොවියකුගේ පුතකුට සලකන ආකාරය හා අප වැනි මෙරට අසරණ පාරිභෝගිකයින්ට මෙරට ධනපති දේශපාලකයින් සලකන ආකාරය පිළිබඳව අමුතුවෙන් ඔබතුමාට අප කියා දිය යුතු නැති බව අපගේ විශ්වාසයයි. මෙරට විධායක ජනාධිපතිවරයා වී ඔබතුමා මෙතරම් අසරණ නම් අප වැනි පාරිභෝගිකයින් කොපමණ අසරණද යන්න සිතා බලන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින අතර ඔබතුමාගේ කථාවට සවන් දෙන මෙරට දේශපාලකයින් හඬා වැටෙන අතර තවමත් එවැනි දුකක් විඳිනු ලබන අප වැනි පාරිභෝගිකයින් දෙස ඔබ ඇමති මණ්ඩලයේ සාමාජිකයින් හැරී නොබලන්නේ ඇයිද යන්න අප නොදනී.

ගරු ජනාධිපතිතුමනි, මෙරට අසරණ පාරිභෝගිකයින් ගැන සිතා සියලුම පෞද්ගලික සෞඛ්‍ය අංශයෙන් ලබා ගන්නා සේවා වැට් බද්දෙන් නිදහස ්කරන ලෙස ඉල්ලා සිටිමි.” යැයි එම ලිපියේ සඳහන් ය.