FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර පිළිබඳ කොප් පරික්ෂණ අවසන්..- මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශ නොගනී.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් කමිටුව විසින් සිදුකළ විමර්ශන කටයුතු ඊයේ (08) අවසන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විමර්ශනයට අදාළ කෝප් වාර්තාව මුද්‍රණය කිරීම සඳහා කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දී ඇත.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් ඊයේ (08) දිනයේද කෝප් කමිටුව හමුවට මහ බැංකු අධිපතිවරයා කැඳවා තිබු නමුත් ඒ පිළිබඳ කිසිදු කෝප් සාමාජිකයකු මහ බැංකු අධිපතිවරයාගෙන් කරුණු විමසීමක්‌ සිදු කර නොමැති බවද පැවසේ.

එහෙයින් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් කමිටුව හමුවට මහ බැංකුවේ නිලධාරීන් ගෙන්වීම ඊයේ දිනයේ (08) අවසන් කිරීමත් සමග එහි විමර්ශන කටයුතු අවසන් කළ බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෙකු ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔක්‌තෝබර් 13 වැනිදා මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මහ බැංකු අධිපතිවරයා ඊයේ දිනයේ (08) කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්‌ථාවේදී ඔහුගෙන් දිවුරුම් පිට ප්‍රකාශයක්‌ ලබාගත යුතු බව කමිටු සාමාජිකයන් කොටසක්‌ යෝජනා කර ඇත.

එහෙත් ඊට තවත් සාමාජික පිරිසක්‌ විරෝධය දැන්වීම් නිසා මහ බැංකු අධිපතිවරයාගෙන් දිවුරුම් ලබා ගැනීම සිදු නොකළ බවද එම සාමාජිකයා සඳහන් කළේය.