FAST NEWS

24×7 Around the Globe

කොළඹට ජල ප්‍රවාහන පද්ධතියක් සඳහා ශක්‍යතා අධ්‍යයනයකට ඇමති මණ්ඩල අනුමැතිය..

කොළඹ නගර සීමාව තුළ නව අභ්‍යන්තර ජල ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට හැකි බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එ අනුව සුදුසු පෞද්ගලික ආයෝජකයෙකු හඳුනා ගනිමින්, රාජ්‍ය – පෞද්ගලික හවුල් ක්‍රමවේදය යටතේ නව අභ්‍යන්තර ජල ප්‍රවාහන පද්ධතියක් ගොඩනැඟීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සිදු කිරීම කරුණු දක්වමීන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නගරයේ රථ වාහන තදබදය ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතින තත්ත්වයක් යටතේ, බස් රථ හෝ දුම්රිය ප්‍රවාහනය ප්‍රමාණවත් ලෙස සේවයේ යොදවා නොමැති ප්‍රදේශ සඳහා ජලාශ සහ ඇළ මාර්ග පාදක කරගත් ශීඝ්‍ර හා සකසුරුවම් ප්‍රවාහන සේවාවක් ලබා දිය හැකි බව හඳුනාගෙන ඇති බව අමාත්‍යවරයා අදාළ යෝජනාව මගින් පෙන්වාදී ඇත.

ඒ අනුව, කොළඹ නැඟෙනහිර – බටහිර සහ උතුරු – දකුණු ප්‍රදේශ සම්බන්ධ කරන විධිමත් සම්බන්ධීකරණ මාදිලියක් වශයෙන් දැනට පවතින ඇළ මාර්ග පද්ධතිය සහ සමුද්‍රය භාවිත කිරීම මඟින් කාර්යක්ෂම ප්‍රවාහන‍ ‍සේවාවක් සලසා දිය හැකි බව හෙතෙම යෝජනාවෙන් වැඩිදුරටත් පවසයි.

වැල්ලවත්ත – බත්තරමුල්ල (ඇළ මාර්ග ඔස්සේ), කොටුව – යුනියන් පෙදෙස (බේරේ වැව ඔස්සේ), මට්ටක්කුලිය – හංවැල්ල (කැලණි ගංඟාව ඔස්සේ) යන අභ්‍යන්තර ජල ප්‍රවාහන මාර්ග තුන මේ සඳහා විභවයක් පවතින මාර්ග වශයෙන් මහානගර ප්‍රවාහන කමිටුව විසින් හඳුනාගෙන ඇති බවද යෝජනාව මගින් අවධාරණය කර තිබේ.