FAST NEWS

24×7 Around the Globe

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලෙඩ නිවාඩු…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය මැකෙන්සි නමැති විදේශීය සමාගමට පැවරීමට විරෝධය පළකිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් අද (05 දින) ලෙඩ නිවාඩු දමා සේවයෙන් බැහැරවීමට තීරණය කර ඇත.

මෙම විරෝධතාවට කොළඹ දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ සහ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල සමස්‌ත සේවකයන් එක්‌වන බව ද එම බදු එකතු කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික අංශයට පැවරීම හකුලා නොගන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති තීරණය කර ඇති බව ද ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

බදු එකතු කිරීමේ ක්‍රියාවලිය මැකෙන්සි නම් විදේශ සමාගමට පවරා එහි දේශීය නියෝජිතයන් මගින් එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට අමාත්‍ය මණ්‌ඩල තීරණයක්‌ ගෙන ඇති බව ද එම තීරණය මත ක්‍රියාත්මක කළ යුතු බවට දේශීය ආදායම් කොමසාරිස්‌ ජනරාල්වරිය ඇතුළු දේශීය ආදායම් ඉහළ පරිපාලන නිලධාරීන් පසුගිය සැප්තැම්බර් 01 වැනිදා මුදල් අමාත්‍යවරයා විසින් දැනුවත් කර ඇති බව ද එම වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

මුදල් ඇමැතිවරයා විසින් අත්තනෝමතික ලෙස බදු එකතු කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පැවරීමත්, ඊට අමතරව දේශීය ආදායම් සේවා ව්‍යවස්‌ථාවට පිටින් දේශපාලන පත්වීම් 1500 ක්‌ ලබාදීමට සැලසුම් කිරීමත්, සේවක අයිතීන් කප්පාදු වන ආකාරයට සහ රාජ්‍ය සේවයේ ස්‌වාධීනත්වය බිඳවැටෙන ආකාරයට දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණවලට තම බලවත් විරෝධය පළකරන බව ද එම දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තවදුරටත් කියයි.