FAST NEWS

24×7 Around the Globe

මැ‍ලේසියානු මහ කොමසාරිස් අයි. අන්සාර් මහතාට මැලේසියාවේදි ප්‍රහාරයක්..

මැ‍ලේසියානු මහ කොමසාරිස් අයි. අන්සාර් මහතාට සහ දෙවන ‍ලේකම් එල්.ආර්. සෙන්දනායක මහත්මියට ක්වාලාලාම්පූර් ගුවන්තොටුපළේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ දෙමළ ඩයස්‍පෝරාවේ පිරිස් විසින් ඊයේ (04) දහවල් 1.00ට පමණ පහර දී තිබේ.

මේ දිනවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැ‍ලේසියාවේ සංචාරයක නිරත වන හෙයින් එම සංචාරයට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ගුවන් තොටු‍පොළ වෙත ඇරලවීමට පැමිණි අවසථාවේ මෙම පිරිස විසින් පහර දී ඇත.

මෙම ප්‍රහාරයෙන් අන්සාර් මහතාගේ හිසට තුවාල සිදුවී ඇති අතර මේ වන විට ඒ මහතා ගුවන්තොටුපළේ ‍පොලිස් රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටිනා බව සඳහන් වේ.

මෙලෙස පහරදීමට හේතු වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සමග පැමිණි පිරිසට ආරක්ෂාව ලබාදීම හේතුවෙන් බව සඳහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි ලෙස හෙළා දකින බව දන්වා නිවේදනයක්ද නිකුත් කර ඇත. එසේම මෙම පහරදීම සම්බන්ධයෙන් තානාපති සබඳතා මත ඉදිරි පියවර ගන්නා බවද අමාත්‍යාංශය දන්වා සිටී.

එසේම මැලේසියාවේ සංචාරයක නියුතු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ පිරිස් විසින් විශාල ලෙස විරෝධතා පැවැත්වීම සහ ඔවුන්ගෙන් බලපෑම් එල්ලවීම නිසා ඊයේ(04) දිනයේදී සියලු වැඩසටහන් නවත්වා දමා දැඩි ආරක්ෂාව මැද රැඳී සිටි හෝටලයටම වී සිටීමට ඒ මහතාට සිදුවී ඇත.

මෙයට හේතුවී ඇත්තේ පෙරේදා (03)එල්. ටී. ටී. ඊ.  හිතවාදී පිරිසක් විසින් හිටපු ජනාධිපතිවරයා ඊයේ (04) දිනයේ ආගමික වතාවත් සඳහා සහභාගි වීමට සිටි විහාරස්ථානයකට ප්‍රහාර එල්ල කිරීම නිසාය.  පහරදුන් පිරිස හිටපු ජනාධිපතිවරයාට විරෝධය පාමින් විහාරස්ථානයට කඩා වැදී එහි වැඩ සිටි ස්වාමින් වහන්සේලාට බලපෑම් කරමින් හිටපු ජනාධිපතිවරයාව එහි උත්සව සඳහා සහභාගි නොකර ගන්නා ලෙසට බලපෑම් කර ඇත.  අවසානයේ පිරිස විහාරස්ථානයේ දේපළවලට පවා හානි කර ඇත. මේ හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශවලට සිදුවී ඇත.

මෙම විරෝධතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරටට පැමිණි දා පටන් සිදුවූ අතර ඔහු අයි කැප් සමුළුව අමතන විට ශාලාවෙන් පිටත සිට විරෝධතාවක් පැවැත්විණි.