FAST NEWS

24×7 Around the Globe

අධීක්ෂණ මන්ත්‍රීවරුන් 50 ට බලතල හා වරප්‍රසාද රැසක්…

වත්මන් ආණ්ඩුව විසින් දිවයිනේ දිස්ත්‍රික් විසිපහම ආවරණය වන පරිදි පත්කිරීමට නියමිත අධීක්ෂණ මන්ත්‍රීවරුන් 50 දෙනකු සඳහා බලතල මෙන්ම වරප්‍රසාද රැසක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව අදාළ දිස්ත්‍රික්කය තුළ රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අධීක්ෂණය කිරීමට මෙම මන්ත්‍රීවරුන් පත්කෙරෙන අතර, එක් දිස්ත්‍රික්කයක් සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරුන් දෙදෙනා බැගින් පත් කිරීමටත් මෙම පත්කිරීම් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව කිරීමටත් රජයේ අවධානය යොමුවී ඇත.

රජය විසින් සිදුකිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පත්කරන මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් සඳහා නිල රථයක් මෙන්ම දිස්ත්‍රික්කය පුරාම ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධනද ලබාදීමට රජය තීරණය කර ඇත.

එමෙන්ම අදාළ මන්ත්‍රීවරුන්ට තම දිස්ත්‍රික්කයේ ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණ කටයුතු කිරීමට අවශ්‍ය සියලු පහසුකම්වලින් යුතු අංගසම්පූර්ණ කාර්යාලයක් මෙන්ම ඊට අදාළ කාර්ය මණ්ඩලයක් පත්කර ගැනීමේ අවස්ථාවද හිමිවේ.

මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය සියලු බලතල මෙන්ම ඔවුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.
සුජිත් කෝනාර