FAST NEWS

24×7 Around the Globe

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයේ සුලමුල මෙන්න…

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සකීර් සුලෙයිමාන් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම දක්වා වූ මෙහෙයුම සංවිධානය කළ බව කියන මරණකරුගේ රෙදිපිළි වෙළෙඳසලේ කළමනාකරු සහ එහි සේවය කළ සේවකයකු කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (01දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආදුරුප්පුවීදියේ පදිංචි 26 හැවිරිදි එම්. ඒ. එම්. පසීර් නමැති ඝාතනයට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ රෙදිපිළි වෙළෙඳසලේ කළමනාකරු සහ එම ආයතනයේ සේවකයකු ලෙස සේවය කළ අංක 211/60සී, නාගලම්වීදිය ග්‍රෑන්ඩ්පාස් පදිංචි අබ්දුල් රහුමාන් නමැති සැකකරුවන් දෙදෙනෙකි.

මේ සැකකරුවන් දෙදෙනා සහ අංක 25/4/ඒ, සිරිපාල ජින්තුවත්ත, සේදවත්ත, වැල්ලම්පිටිය පදිංචි සුන්දරම් ඇන්ටනී සේවියර්, අංක 72/25/ඒ, නව කැලණි පාලම, සේදවත්ත, වැල්ලම්පිටිය පදිංචි මොහොමඩ් රිෂාඩ් යන සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝගයක් නිකුත් කෙළේය.

ඝාතනයට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයා සතුව තිබූ ණය කාඩ්පත් 04ක් අස්ථානගත වී ඇති බව අධිකරණය වෙත දන්වා සිටි කොළඹ අපරාධ කොට්ඨාසය එම ණය කාඩ්පත් උපයෝගී කර මුදල් ලබාගෙන හෝ මුදල් ලබා ගැනීමට තැත් කිරීමක් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් අදාළ බැංකු මඟින් වාර්තා කැඳවීමට අවශ්‍ය බව දන්වා සිටියේය.

ඊට අමතරව ඝාතනයට ලක්වූ පුද්ගලයාට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඇතුළුවීමට ප්‍රමුඛත්වයක් ලබාදී තිබූ අංක 37475 – 20000168 28 දරන ප්‍රවේශ පත්‍රය යමකු විසින් පරිහරණය කර ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගෙන යෑමට ලක්වූ බම්බලපිටිය, කොතලාවල ඇවනිව් සිට ගාලුපාර මංසන්ධියේ පිවිසෙන ස්ථානයේ තිබූ රූබී ජෙම් ආයතනයේ ඛ්ඛ්ඊඍ කැමරා දර්ශනවලට අදාළ සී. ඩී. තැටි වැඩිදුර පරීක්ෂණ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත යවා ඇතැයි ද පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

මේ සිද්ධියට අදාළව සිදුකරනු ලබන පරීක්ෂණයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළේය.

සැකකරුවන්ගෙන් එක් අයකු ඝාතනය කළ කෝටිපති තරුණයාගේ පියාට දුරකතන ඇමැතුමක් ලබාදී රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා සිටි සැකකරු බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

පැහැරගත් කෝටිපති ව්‍යාපාරිකයා සැකකරුවන්ගේ පහරදීමට ලක්ව පැය දෙකකදී මියගොස් ඇති බව වෛද්‍ය සාක්ෂිවලින් තහවුරු වන බවද පොලිසිය පැවැසීය.

මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පොදු දුරකතන කුටිය සම්බන්ධයෙන් පවත්වන ලද සීසීටීවී කැමරා දර්ශන සහ ජංගම දුරකතන විශ්ලේෂණවලින් බවද පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කෙළේය.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා ස්ථානගත පරීක්ෂණ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කෑගල්ල ප්‍රදේශයට ගෙන යන ලදී.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා, එම විමර්ශන අංශයේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා, උප පොලිස් පරීක්ෂක නයනජිත් යන මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.