FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය සංගමය කලින් කලින් නොදන්වා වැඩ වර්ජනයකට යයි…

ආයතන සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කරමින් සිටින වෛද්‍ය සේවා අධ්‍යක්‌ෂවරයා වහා එම තනතුරෙන් නෙරපා හැර විමර්ශනයක්‌ නොපැවැත්වුවොත් කලින් නොදන්වා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්‌ දියත් කිරීමට වෛද්‍යවරුන් සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරයාට අනතුරු අඟවා සිටී.

මෙම අධ්‍යක්‌ෂවරයා සෞඛ්‍ය ඇමැතිවරයාට වැරදි තොරතුරු ලබා දෙන බවද ඒ මත පදනම්ව සෞඛ්‍ය ඇමැතිවරයාද කනගාටුදායක ලෙස ප්‍රකාශ නිකුත් කරන බවද ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

එවැනි නිලධාරීන්ගෙන් ප්‍රවේශම් වන ලෙස ඇමැතිවරයාට අනතුරු අඟවන බවද වෛද්‍යවරුන්ගේ මාරුවීම් මණ්‌ඩලයේ එකඟතාවයකින් තොරව සිදු කළ සියලුම මාරුවීම් හා පත්වීම් වහා අවලංගු කළ යුතු බවද වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම උතුරු, නැගෙනහිර සේවයේ යෙදෙන වෛද්‍යවරුන් සඳහා ලබා දෙන විශේෂ මාරුවීම් ලැයිස්‌තුව වහා ක්‍රියාත්මක කළ යුතු බවද එසේ නොවුණහොත් දීප ව්‍යාප්ත වර්ජනයකට යාම සඳහා ඊයේ (01) රැස්‌වූ මධ්‍යම කාරක සභාව අනුමැතිය ලබා දුන් බවද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.