FAST NEWS

24×7 Around the Globe

තාජුඩින්ගේ මරණයට අදාළ cctv වාර්තාවක් අධිකරණයට..

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සොයාගත් සීසීටීවී කැමරා දර්ශන ඇතුළත් සී.ඩී. තැටි 10ක් කැනඩාවේ විශේෂ තාක්ෂණික ආයතනයක් වෙත යවා ලබාගත් වාර්තාව සීල් තබා රහස් පොලිසිය විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවට ඊයේ (31දා) ඉදිරිපත් කරන ලදී.

තාජුඩීන් ඝාතනයට අදාළව රහස් පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් රැගෙන ගිය සීසීටීවී දර්ශන ඇතුළත් සී.ඩී. තැටි තොගය සම්බන්ධයෙන් කැනඩාවේ වෑන්කුවර්හි පිහිටි බි්‍රටිෂ් කොලොම්බියා තාක්ෂණික ආයතනයේ පාඨමාලා ප්‍රධානි ඩේවිඩ් මැකී මහතා විසින් ඉදිරිපත් කරන ලද රහසිගත වාර්තාව රහස් පොලිසිය විසින් එලෙස ඊයේ (31දා) අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් තම දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති ජනාධිපති කාර්යාලයේ පවත්වාගෙන ගිය අභ්‍යන්තර

දුරකතන ජාල පද්ධතියට අදාළව සවිකර තිබූ මධ්‍යම දත්ත සැකසුම් ඒකක යන්ත්‍රය  පරීක්ෂා කර වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය බව දන්වා සිටියේය.එම ඉල්ලීම පිළිගත් අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අදාළ යන්ත්‍රය පරීක්ෂා කර ඒ ආධාරයෙන් 2012 මැයි 16 වැනි දින පෙරවරු 6 සිට මැයි 17 වැනි දින පෙරවරු 6 දක්වා ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර දුරකතන ජාලයට සම්බන්ධ වූ බාහිර දුරකතන ඇමැතුම් සහ අභ්‍යන්තර දුරකතන ඇමැතුම් පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස යුනියන් පෙදෙසේ පිහිටි පෙන්ටන්ස් ලිමිටඩ් ආයතනය වෙත නියම කෙළේය.