FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සතුව පැවති විශිෂ්ට එක්දින වාර්තාවක් එංගලන්තය සතු කර ගනියි..

එක්දින තරගයකදී කණ්ඩායමක් රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත කණ්ඩායම තමන් සතු කර ගත්තේ ය.

ඒ, පකිස්ථාන කණ්ඩායමට එරෙහිව කඩුලු 3කට ලකුණු 444ක් ලබා ගැනීමෙනි.

කෙසේ වෙතත් ඔවුන් එලෙස බිඳ දැමුවේ, ශ්‍රී ලංකා කණ්ඩායම මීට වසර 10කට පෙර නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 443ක් රැස් කරමින් තබා තිබූ ලෝක වාර්තාවයි.

එංගලන්තය එම ලකුණු ප්‍රමාණය ලබා ගත්තේ, සංචාරක පකිස්ථානු කණ්ඩායම සමග පැවති 3 වන එක්දින ක්‍රිකට් තරගයේදී ය.

එංගලන්තය එම තරගයේ ජය හිමි කර ගත්තේ, ලකුණු 169කිනි.

නොටිංහැම්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව ඉනිම ආරම්භ කළේ, ජේසන් රෝයි සමගින් ඇලෙක්ස් හේල්ස්.

පළමු කඩුල්ල ලෙස රෝයි ලකුණු 15කට දැවී ගියේ, මුළු ලකුණු සංඛ්‍යාව 33ක් ලෙස සටහන්ව තිබියදී ය.

එක්දින දිවියේ සිව් වැනි ශතකය වාර්තා කළ ඇලෙක්ස් හේල්ස් ලකුණු 171ක් රැස් කළේ ය.

ජෝ රූට් ලකුණු 85ක් රැස් කළ අතර, ජෝස් බට්ලර් ලකුණු 90 යි.

එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 444ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පකිස්ථානයේ මුල් පෙළ කඩුලු 5 ලකුණු 108ක් තුළදී බිඳ වැටිණි.

ශාජල් කාන් ලකුණු 58ක් රැස් කළේ ය.

පකිස්ථානයට පන්දුවාර 42 යි පන්දු 4ක් අවසානයේ සියලු කඩුලු දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 275ක් පමණි.

පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් ලකුණු 41ට කඩුලු 4ක් දවා ගත්තේ ය.

ඒ අනුව එංගලන්තය තරග 5කින් සමන්විත තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස මේ වන විට පෙරමුණේ පසු වේ.