FAST NEWS

24×7 Around the Globe

රාවුෆ් හකිම්ගෙන් මුස්‌ලිම් කොංග්‍රසයේ දේපල ගැන වාර්තාවක් ඉල්ලයි…

සිය පක්‍ෂයට හිමිව තිබූ සියලු චංචල හා නිශ්චල දේපළවල වත්මන් තත්ත්වය පිළිබඳව පූර්ණ වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්‌ විසින් පක්‍ෂ නායක ඇමැති රාවුෆ් හකීම් මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳව සති කිහිපයක්‌ ඇතුළත පක්‍ෂ නායකයා වාර්තාවක්‌ ඉදිරිපත් නොකළහොත් පක්‍ෂයේ දේපළවලට සිදු වී ඇති සියල්ල රටට හෙළිදරව් කරන බවද ඔවුන් එම ලිපියෙන් දන්වා ඇති බවද වාර්තා වේ.

පක්‍ෂයේ හිටපු නායක එම්. එච්. එම්. අෂ්රොෆ් මහතාගෙන් පසුව හකීම් මහතා පක්‍ෂ නායකත්වය භාර ගැනීමෙන් ඉක්‌බිතිව පක්‍ෂය සතුව පැවැති දේපළවලට සිදු වූ දෙය පාක්‍ෂිකයන් නොදන්නා බවද අඩුම තරමින් පක්‍ෂ මූලස්‌ථානය කුලියට දීම, අනෙකුත් කුඩා ඉඩම් කැබලි විකිණීම කාගේ අනුමැතියෙන් සිදු වූයේද යන්න පක්‍ෂය වෙනුවෙන් කැපවන අයට දැන ගැනීමට අයිතියක්‌ ඇතැයිද මෙමගින් දැනුම් දුන් බව මුස්‌ලිම් කොංග්‍රසයේ ආරංචි මාර්ග පැවසීය.

පක්‍ෂ නායකයාගෙන් මෙම ලිපියට ලැබෙන ප්‍රතිචාරය අනුව ඉදිරි පියවර ගන්නා අතර කිසිවකු කිසිවිටෙක පක්‍ෂයෙන් ඉවත් නොවන බවත් පක්‍ෂය ආරක්‍ෂා කිරීම සඳහා ගතහැකි සෑම පියවරක්‌ම ගන්නා බවත් පක්ෂ ජෙෂ්ඨයින් අවධාරණය කර ඇති බවද පැවසේ.