FAST NEWS

24×7 Around the Globe

වාසුදේවට විරුද්ධව නීතිමය පියවර ගැනීමට පාඨලී සැරසෙයි.

පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබා දුන් ගල් අඟුරු ටෙන්ඩරයේ වගඋත්තරකරු යැයි තමාට චෝදනා කළ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

බත්තරමුල්ල සුහුරුපායේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම ගල්අඟුරු ටෙන්ඩරය ඉදිරිපත් කර තිබෙන 2015 සැප්තැම්බර් මස 22 දින වන විට තමා විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරයේ කටයුතු කර නොමැති බවත් එම ටෙන්ඩර් කැඳවීම අහෝසි කරන ලෙස තමා ජනාධිපතිවරයාට 2015 අගෝස්තු 13 වැනිදා ලිපියක් යොමු කරමින් දන්වා තිබෙන බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඒ තුළින් මේ චෝදනාව සම්පූර්ණයෙන් තමාට මඩ ගැසීමක් කළ චෝදනාවක් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

2009 සිට ගල් අඟුරු වංචාවක් සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමට තමා ඉහළින්ම කැමැත්ත පළ කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.