ප්‍රවාහන ඇමතිවරයා මහා භාණ්ඩාගාරය වෙත හිඟමනේ නොයවා ශ්‍රී ලංගමයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ඉල්ලා සිටිමීන් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් මගින් දැනුවත් කර ඇත.
ශ්‍රී ලංගම සේවකයන්ට මාසික වේතනයට අවශ්‍ය රුපියල් මිලියන 1350 ක මුදල සෑම මාසයකම අඛණ්ඩව විධිමත්ව ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයට උපදෙස් දෙන ලෙස මෙම ලිපිය මගින් මුලිකව ඉල්ලා ඇත.
එම ලිපිය පහතින්
ගරු ජනාධිපති,
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
ගරු ප්‍රවාහන ඇමතිවරයා මහාභාණ්ඩාගාරය වෙත හිඟමනේ නොයවා ශ්‍රී ලංගමයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ඉල්ලා සිටීම.
ශ්‍රී ලංගමයටත් ශ්‍රී ලංගම සේවකයින්ටත් මේ මොහොතේ උද්ගත කර ඇති සහ උද්ගත කරමින් සිටින බලවත් අසාධාරණකම් විසඳා ගැනීමට 2016.07.11 වන දින ගරු ප්‍රවාහන ඇමතිවරයා සමඟ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ දී පුළුල් සාකච්ඡාවක් පවත්වන ලදී.
ශ්‍රී ලංගම සුරැකීමේ වෘත්තීය සමිති එකාබද්ධ සන්ධානයට මෙම සාකච්ඡාව ශ්‍රී ලංගම ගරු සභාපති රමල් සිරිවර්ධන මැතිතුමා මැදිහත්වී ලබාදුනි.
එම සාකච්ඡාවේදී ප්‍රවාහන ඇමතිවරයාගේ කරුණු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේ දී අප සංගමයට පැහැදිළිවම වැටහී ගියේ ශ්‍රී ලංගමය පවත්වාගෙන යනවාද? නැද්ද? යන්න තීරණය කිරීම ඔබතුමාගේ අභිමතය පරිදි ඔබතුමාගේ කරපිටට පැවරී ඇති බවය.
ශ්‍රී ලංගමය විනාශ කරන එකාබද්ධ කාලසටහන් ක්‍රමය ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් බවත් මුදල් අමාත්‍යාංශය මගින් කරනු ලබන යෝජනාවල් කිසිසේත්ම බැහැර කිරිමට එතුමාට ක්‍රියාකිරීමට නොහැකි බවත් ප්‍රවාහන ඇමතිවරයා මෙම සාකච්ඡාවේ දී අවධාරණයෙන් පැහැදිලි කරන ලද අතර මෙම සියළු ගැටළු විසඳා ගැනීම සඳහා ඔබතුමා අගමැතිතුමා, මුදල් ඇමතිතුමා සමඟ සති 2ක් ඇතුළත සාකච්ඡාවක් ලබාදීමට අනිවාර්යයෙන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් වෘත්තීය සමිතිවලට පවසන ලදී.
දැනට ශ්‍රී ලංගම සේවකයින්ට මාසික වේතනය ලබාදීම සඳහා රුපියල් මිලියන 1350 ක් සෑම මාසයකම අවශ්‍ය බවත්, එම මුදල මහා භාණ්ඩාගාරය මගින් එකවර මෙතක් ලබාදුන් බවත් එතුමා පවසන ලද අතර මේ මොහොත වනවිට එම මුදල මාසයෙන් මාසය කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගෙන එම අනුමත කරගන්නා ලද කැබිනට් පත්‍රිකාව මහා භාණ්ඩාගාරය වෙත යොමුකිරීමට සිදුවී ඇති බව ද එතුමා පවසන ලදී.
මානව වාර්ගයාගේ මුලික මිනිස් අයිතිවාසිකමක් වන ප්‍රවාහනය සේවාවක් වන අතර එම සේවාව විධිමත්ව පවත්වාගෙන යන ශ්‍රී ලංගම සේවකයින්ගේ මාසික වේතනය ගෙවීම සඳහා ප්‍රවාහන ඇමතිවරයා මහා භාණ්ඩාගාරය වෙත මාසයෙන් මාසය හිඟමනේ යෑමට සැලැස්විමේ ක්‍රියාව ඔබතුමා කිසිසේත් අනුමත නොකරන බව අපට විශ්වාසය.
ඔබතුමා ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ අවස්ථාවේ අප සංගමය වෙනත් කිසිදු වෘත්තීය සමිතියක් ඉදිරිපත් නොවූ තත්ත්වයන් තුළ ඔබතුමා වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයාට මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයාට පැමිණිලි ඉදිරිපත් කළ ක්‍රියාවලියට ඔබතුමා ස්තුති කර අප සංගමයට ලිපි පවා යොමුකර ඇත.
ඊට අමතරව ඔබතුමා ජනාධිපති තනතුර ලබාගත් පසු ඉටු කළ යුතු කරුණු පිළිබඳව ලිපියක් ඔබතුමාට අප සංගමය යොමු කළ අතර ඊට ඔබතුමා යහපත් ප්රතිචාරයන් දක්වා ඇත. එම කරුණුවල එ්කාබද්ධ කාලසටහන් ක්‍රමවේදය අනිවාර්යයෙන් නතර කළ යුතු බවත්, ශ්‍රී ලංගමයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වධිමත්ව අඛණ්ඩව ලබාදිය යුතු බවත් පැහැදිලිව සඳහන් කර ඇත. ඔබතුමා සමඟ කරනු ලබන සාකච්ඡුාව තුළදී අප සංගමය ඔබතුමාට යොමු කරන ලද ලිපිවල පිටපත් සහ ඔබතුමා අප සංගමයට එවන ලද ලිපි සහ 2006 වසරේ සිට මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංගමයට කරනු ලබන කෙනෙහිලිකම්වලට, අක්රමිකතාවලට අප සංගමය යොමු කරන ලද ලිපිවල පිටපත් ඉදිරිපත් කිරිමට අප සංගමය සූදානම්ව සිටින්නෙමු.
ගරු ජනාධිපතිතුමනි,
ඔබතුමා සමඟ සිදුකිරීමට නියමිත සාකච්ඡාවට පෙර විසඳිය යුතු ප්‍රධාන ඉල්ලීමක් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු. එම ඉල්ලීම නම් මාසයෙන් මාසයට ප්‍රවාහන ඇමතිවරයා මහා භාණ්ඩාගාරය වෙත හිඟමනේ යන ක්‍රියාවලිය අනිවාර්යයෙන් වළක්වා ශ්‍රී ලංගම සේවකයන්ට මාසික වේතනයට අවශ්‍ය රුපියල් මිලියන 1350 ක මුදල සෑම මාසයකම අඛණ්ඩව විධිමත්ව ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයට උපදෙස් දෙන ලෙසය. මෙම සාධාරණ, යුක්තිගරුක, අතිමානුෂික ඉල්ලීමට ඔබතුමා යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අප සංගමය බලාපොරොත්තු වන්නෙමු.
ස්තූතියි.
මෙයට – විශ්වාසී,
සේපාල ලියනගේ
(ප්‍රධාන ලේකම්)
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය