FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු සංශෝධනය කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව.

ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු බස් ගාස්තු සංශෝධනය පිළිබදව තීන්දුවක් ගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා සහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් අතර හමුවක් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

බස් ගාස්තු සංශෝධනය සඳහා පත්කරන ලද විද්වත් කමිටුව ඉදිරියේ අදහස් දැක්වීමට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම්වල නියෝජිතයින්ට ද අවස්ථාවක් ලබාදෙන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසී ය.

එම අදහස් සහ ලැබී ඇති අනෙකුත් අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් එම කමිටුව විසින් යෝජනා මාලාවක් ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව බස් ගාස්තු සංශෝධනයට අදාළව කැබිනට් මණ්ඩලයේදී ගනු ලබන තීරණය ප‍්‍රවාහන අමාත්‍යවරයා විසින් ප‍්‍රකාශයට පත් කරනු ඇත.

එමෙන්ම ජාතික ප‍්‍රවාහන කොමිසන් සභාවෙන් හෝ වෙනත් කිසිදු පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියක් විසින් නැවත දැනුම් දෙනතුරු පෞද්ගලික බස් රථ සඳහා නව මාර්ග බලපත‍්‍ර නිකුත් නොකිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය විය.

ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ පළාත් ප‍්‍රවාහන අමාත්‍යවරු ඇතුළු රාජ්‍ය නිළධාරින් සාකච්ඡාවට එක්ව සිටියහ.