FAST NEWS

24×7 Around the Globe

ජයවර්ධනපුර හා සබරගමු සරසවි සිසුහු විරෝධය පාති.

අද (05) දින ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් හා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් උද්ඝෝෂණයක නිරත වෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනෙකුට පනවා ඇති පන්ති තහනම ඉවත් කර දෙන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂණයක නිරත වන අතර විශ්වවිද්‍යාලයීය පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට එම උද්ඝෝෂණය පැවැත්වෙන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රභාත් චතුරංග සඳහන් කරයි.

සිසුන් දෙපිරිසක් අතර ඇති වු සුළු ගැටුමක් මුල් කරගනිමින් අත්තනෝමතික ලෙස මෙම පන්ති තහනම පනවා ඇති බව සඳහන් කරන ඔහු කියාසිටියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරවල ආරක්ෂාව පිළිබඳ ගැටළු සහ සුබසාධන ගැටළු රැසක් පවතින අවස්ථාවක ඒවා යටපත් කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාලයීය පරිපාලනය මෙලෙස කටයුතු කරන බවයි.

මේ අතර සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් උද්ඝෝෂණයේ නිරත වන්නේ ආරම්භ කිරීමට නියමිත නව තාක්ෂණික පීඨය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළම ඉදිකරන ලෙස පරිපාලනයට බල කරමිනි.

මීට අමතරව මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීමට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු පිරිසක් අද කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක ද නිරත විය.