FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය සිංහල අලුත් අවුරුද්දට පෙර.

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ සිංහල අලුත් අවුරුද්දට පෙර අනිවාර්යයෙන්ම පවත්වන බව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාෆා මහතා ප්‍රකාශ කළේය.

නව මැතිවරණ ක්‍රමයක්‌ යටතේ අදාළ මැතිවරණය පවත්වන බව ද හෙතෙම ඊයේ (01 වැනිදා) කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. අගෝස්‌තු වන විට සීමා නීර්ණය කිරීම සඳහා පත් කළ කමිටුවේ කාලය අවසන් වුව ද, එම කමිටුවට තවත් කාලය ලබාදීමට සිදුවන බව ද ෆයිසර් මුස්‌තාෆා මහතා කීවේය.

සියලුම ලියාපදිංචි පක්‍ෂ සීමා නීර්ණය කිරීමේ කටයුතු අවසන් වන තෙක්‌ මැතිවරණය පැවැත්වීමට එකඟ වී තිබියදීත් ඇතැම් අය අද හෙට මැතිවරණය පවත්වන ලෙසට බල කරන බව ද හෙතෙම සඳහන් කළේය.

කිසිදු අඩුපාඩුවක්‌ හෝ ගැටලුවක්‌ සහිතව මැතිවරණය පවත්වන්නේ නැතැයි ද, යහපාලන රජයට මැතිවරණය කල්දැමීමට කිසිදු හේතුවක්‌ නැතැයි ද ඔහු පැවසීය.

විසිරුවා හරින ලද පළාත් පාලන ආයතනවලට කොමසාරිස්‌වරුන් හා ලේකම්වරුන් පත් කර ඇතැයි ද, කිසිම අඩුපාඩුවකින් තොරව මෙතෙක්‌ කරගෙන ආ කටයුතු සිදුකරගෙන යන බව ද ෆයිසර් මුස්‌තාෆා මහතා වැඩිදුරටත් පැවසීය.