FAST NEWS

24×7 Around the Globe

තාක්‌ෂණවේදී උපාධි සිසුන් ඇතුලත් කර ගැනීමට සබරගමු සරසවීය බෑ කියයි.

තාක්‌ෂණවේදී උපාධි පාඨමාලාව විශ්වවිද්‍යාලය පිහිටි බෙලිහුල්ඔය පරිශ්‍රයේ ආරම්භ කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කර ඇති හදිසි දැනුම් දීම නිසා මෙම වසරේදී එම පාඨමාලාවට සිසුන් ඇතුළත් කිරීම සබරගමුව විශ්වවිද්‍යාලය විසින් ප්‍රතික්‌ෂේප කර ඇත.

ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද අනුමැතිය මත එම පීඨය රත්නපුරයේ ස්‌ථාපිත කිරීමට සියල්ල සැලසුම් කර තිබූ අතර විෂය නිර්දේශ පවා සකස්‌ කර තිබුණේ ඒ අනුවය.

එහෙත් පීඨය බෙලිහුල්ඔය පරිශ්‍රයේම පිහිටුවන ලෙස ප්‍රතිපාදන කොමිෂන් සභාව හදිසියේ ගෙන ඇති තීරණය මෙම ගැටලු සහගත තත්ත්වයට හේතු වී ඇත.

මේ නිසා තාක්‌ෂණවේදී උපාධි පාඨමාලාවට මෙම වසරේදී සිසුන් ඇතුළත් කළ නොහැකි බව එම විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දන්වා තිබේ.

මෙම වසරේ සිට වසර හතරකදී සිසුන් 150 බැගින් සිසුන් 600 ක්‌ විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමේ සැලසුම වසරකින් ප්‍රමාද වීමට මෙම තත්ත්වය හේතු වි ඇත.

තාක්‌ෂණ පීඨය රත්නපුරයේ පිහිටුවීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාල සිසුන් දැඩි විරෝධය පළ කර තිබූ අතර පීඨය බෙලිහුල්ඔය පිහිටුවිය යුතු බවට ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබුණේ ඔවුන්ගේ විරෝධතාවලින් පසුවය.

තාක්‌ෂණ පීඨය රත්නපුරයේ ආරම්භ කිරීමට සැලසුම් කළේ ප්‍රායෝගික පුහුණුව සඳහා සිසුන් කර්මාන්ත ශාලාවලට යොමු කිරීමේ අරමුණ ඇතිව බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා කීවේය.