FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවන්න – එජාපය ජනපතිගෙන් ඉල්ලයි.

 

 

නව ආණ්ඩුවක් පිහිටුවාගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීන්දු කර ඇත.

පසුගිය ජනාධිපති මැතිවරණයේ දී ජනාධිපතිතුමා ජනතාව වෙත ඉදිරිපත් කළ කරුණු සියල්ල ඉටුකර තිබියදී රට අස්ථාවර කිරීම සහ ජනවාරි 08 විප්ලවය ආපසු හැරවීම සඳහා විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ගෙන යන වැඩපිළිවෙළට කිසිසේත් ඉඩ නොදිය යුතු බවත් ජනතාව පුල පුලා බලා සිටින නව ආණ්ඩුවක් පිහිටුවාගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව සිකුරාදා රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙසේ ඒකමතිකව තීන්දුකර ඇත.

පාර්ලිමේන්තුවේ කථානායකතුමා මෙන්ම බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශයන් සැලකිල්ලට ගැනීම යෝග්‍ය බවද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අවධාරණය කර ඇත.

මීළඟ මහමැතිවරණයට පසුව පැවැත්වෙන මැතිවරණය සඳහා නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කළයුතු බවටද එජාපය තීරණය කර ඇත.

නව මැතිවරණ ක්‍රමය යටතේ ආසනයක් සඳහා මන්ත්‍රීවරයෙක් කෙළින්ම තෝරා ගැනෙන අතර දිස්ත්‍රික්ක හා ජාතික මට්ටමින් ඉදිරිපත් කෙරෙන ලැයිස්තුවලට අනුවද මන්ත්‍රීවරුන් තෝරාගැනීමට නියමිත බවත් මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ එක් පක්ෂයක් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතයට අනුපාතිකව මන්ත්‍රීධුර සංඛ්‍යාවක් හිමිවිමය.

පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 225ට වඩා වැඩි නොවිය යුතුය යන්න වසර 2002 සිටම එක්සත් ජාතික පක්ෂ්‍ය දැරූ ස්ථාවරය බවත් මෙම ස්ථාවරය කිසි ලෙසකින්වත් වෙනස් නොවිය යුතු බවට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අවධාරණය කර ඇත.