FAST NEWS

24×7 Around the Globe

20 ගැන අවසන් එකඟතාවකට පැමිණෙන හෙට දිනයේ ගන්නා බව ඇමති රාජීත පවසයි.

 

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ හෙට දිනයේ අවසන් එකඟතාවකට පැමිණෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය,රජයේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 225 ක් ලෙසම පැවතියදී සිදුවිය යුතු වෙනසක් පිළිබඳ බහුතරයකගේ කැමැත්ත පවතින බව අමාත්‍යවරයා කියා සිටියේ අද(11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

මේ සම්බන්ධයෙන් රජයේ විවිධ පාර්ශවයන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රකාශ කරන තත්ත්වයක් තුළ සාමූහික වගකීම පිළිබඳ ගැටළුවක් පවතිනවා නොවේදැයි මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව අමාත්‍යවරයා කියා සිටියේ මීට පෙරාතුව පැවති රජ‍යේද එවැනි තත්ත්වයන් දක්නට ලැබුණු බවයි.

තමා ද මූලාරම්භයේ සිටම ඇතැම් දේ විවේචනය කළ බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

කෙසේවෙතත් ආණ්ඩුව අද හෙට විසුරවීමක් සිදුනොකරන බවත්, එසේ විසුරවනු ලබන්නේනම් තවත් පිරිසකට නියෝජ්‍ය ඇමති පදවි ලබාදීමක් සිදුනොවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඉදිරියේදී මේ අයුරින් තවත් පිරිස් වෙත ඇමති පදවි හෝ නි.ඇමති පදවි ලබාදීමක් සිදුවිය හැකිදැයි ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එසේ ලබාදෙනු ලබන්නේද නැද්ද යන්න පිළිබඳ ඉදිරියේදී දැක බලාගත හැකිවන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් හෙට දිනයේ පැවැත්වීමට නියමිත මාතර රැළියට සහභාගිවන ලෙස ඉල්ලා පුවත්පත් දැන්වීම් පළකිරීම සම්බන්ධයෙන් සොයාබලන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් එවැනි දැන්වීම් හිතුමනාපෙට පළකළ නොහැකි බවත්, පක්ෂ තුළ එවැනි එකඟතාවක් නොතිබුණු බවත් ඔහු අවධාරණය කළේය.