FAST NEWS

24×7 Around the Globe

වටගොඩ දුම්රිය අනතුරට හේතුව නියාමකවරු සඳහන් කරයි.

 

තලවාකැලේ වටගොඩ දුම්රිය ස්ථානය අසලදී භාණ්ඩ ප‍්‍රවාහනය කළ දුම්රියන් දෙකක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුර පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් පුලුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව දුම්රිිය දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ භාණ්ඩ ප‍්‍රවාහනය කළ දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානයේ නතරකර තිබීයදී නාවලපිටිය සිට හපුතලේ දක්වා ධාවනය වූ භාණ්ඩ ප‍්‍රවාහන දුම්රිය නවතා තිබූ භාණ්ඩ ප‍්‍රවාහන දුම්රියේ ගැටී ඊයේ රාත‍්‍රී 7 ට පමණ මෙම අනතුර සිදුවිය.

මෙම අනතුරින් දුම්රියේ ගමන්ගත් මගීන් සිව් දෙනෙකු තුවාල ලබා ලිදුල රෝහලට ඇතුලත් කළ අතර භාණ්ඩ ප‍්‍රවාහනය කළ දුම්රියන් දෙකටද දැඩි අලාභහානි සිදුවී තිබුණි.

එම අනතුර හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද අලුයම 3 පමණ වන තෙක් ඇනහිටියා.

මෙම අනතුරට පත් දුම්රියන් දෙකේම නියාමකවරුන් පවසා සිටියේ වටගොඩ දුම්රිය ස්ථානය මගින් වැරදි සංඥාවක් ලබාදීම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවයි.

හපුතලේ දක්වා ධාවනය වූ දුම්රියේ නියාමකගේ දක්ෂතාවය මත සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක් අවමකර ගැනීමට හැකි වූ බවයි හපුතලේ දක්වා ධාවනය වූ දුම්රියේ නියාමකවරයා පැවසුවේ.

අනතුරින් දුම්රියන් දෙකටම සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර අනතුරට පත් දුම්රියන් දෙකම අද උදෑසන වන විට වටගොඩ දුම්රිය ස්ථානයෙන් ඉවත් කරගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.