FAST NEWS

24×7 Around the Globe

නිමල් සිරිපාල ද සිල්වාගෙන් එ.ජා.ප. යට අභියෝගයක්

ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු අවබෝධතා ගිවිසුමකට එළඹී නොමැති බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරන විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අනිවාර්යයෙන් මුහුණ පෑමට සිදුවන පරාජය හමුවේ එක්සත් ජාතික පක්ෂය කරන එවැනි සාවද්‍ය ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ය.

ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එවැනි අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත්නම් එම ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස ත් එහි පිටපත් මාධ්‍ය වෙත නිකුත් කරන ලෙස ත් විපක්ෂ නායකවරයා අභියෝග කළේ ය.

මෙරට මිළඟ අග්‍රාමාත්‍යවරයා පිළිබඳව තීරණය කරන්නේ, ජනතාව මිස එක්සත් ජාතික පක්ෂය නොවන බව ද විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ ය.

ඔහු පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකායන බලාපොරොත්තුව හා අභිප්‍රාය වනුයේ, එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රතිගාමී බලවේග පරාජය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් නිර්මාණය කිරීම බව ය.