මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සැකයක් යැයි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් කළ ප්‍රකාශයක් මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදී තිබියදී උන්වහන්සේ විසින් මේ පිළිබඳ රහස් පොලීසියේ අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල මහතා වෙත ලිපියක් ද යොමු කර තිබේ.
එහි දැක්වෙන්නේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ බලවත් සංවේගයට හා කුතුහලයට හේතුවක් බවයි.
ඒ සඳහා කාරණා කිහිපයක් බලපා ඇති බවද උන්වහන්සේ එම ලිපිය මගින් සඳහන් කර ඇත.
පෞද්ගලික රෝහලකදී සෝභිත හිමියන් ශල්‍ය කර්මයට ලක් කළ පසු සුවවී එම රෝහලෙන් පිටවීම, රෝහලෙන් පිටවන විට අසනීපයක් නොතිබීම, අනතුරුව වෙනත් පෞද්ගලික රෝහලකට ගෙනයාම, එහිදී අසාධ්‍යව නැවත පෙර සිටි රෝහලට ගෙනඒම, දින කිහිපයකට පසුව අසාධ්‍ය තත්ත්වයේ සිටි උන්වහන්සේ සිහිසුන්ව සිටියදී වෛද්‍ය උපදෙස් නැතිව සිංගප්පූරුවට ගෙනයාම, ප්‍රවාහනයේදී පුහුණුවක් ඇති වෛද්‍යවරු සම්බන්ධ කර නොගැනීම, ඉහත තීරණ ගත්තේ කවරෙකු විසින්දැයි තොරතුරු නොමැතිවීම හා වෛද්‍ය පරීක්ෂණ වාර්තා අස්ථානගත වීම එම කාරණාය.
ඉහත හේතු අනූව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370 වන වගන්තිය යටතේ හදිසි මරණ පරීක්ෂණයක් කළ යුතුව තිබූ බවත්, උන්වහන්සේගේ ප්‍රකාශිත කැමැත්ත පරිදි දේහය වෛද්‍ය විද්‍යාලයට බාර නොදී ආදහනය කිරීමත් සැක සංකා උපදවන බව උඩුවේ ධම්මාලෝක හිමියන් සඳහන් කරයි.
මේ ගැන සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් වෙනුවෙන් සිය සහය දෙන බවද සඳහන් කරන උන්වහන්සේ මීට පෙර මහචාර්ය කොටගම වාචිස්සර, පානදුරේ අරියධම්ම, ගංගොඩවිල සෝම යන හිමිවරුන්ගේ නාමාවලියට අලුතින්ම එක්වූ නම ලෙස සෝභිත හිමියන් සැලකිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.