ජාතික විදුලිබල පද්ධතියේ ඇති සියලු ගැටලුවලට මාස 3ක් ඇතුළත විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලිබල ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
දැනට පවත්නා පද්ධතියේ දෝෂ ඇති බවත්, මේ නිසා විදුලිය බිඳ වැටීම් සිදුවන බවත්, අමාත්‍යවරයා අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.
ඒ අනූව මාස 3ක් ඇතුළත සියලු ගැටලුවලට විසඳුම් ලබාදී අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට පියවර ගන්නා බව ඒ මහතා කියා සිටියේය.
අමාත්‍යවරයා පැවසුවේ නොරොච්චෝලේ තාප බලාගාරයෙන් මෙගා වොට් 600ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු යොදා ඇති බවයි.
එසේ වුවද අද උදෑසන යළි ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙගා වොට් 300ක ධාරිතාවයක් ජාතික පද්ධතියට අහිමි වී ගිය බවද පැවසූ අමාත්‍යවරයා අද (17) පස්වරුව වන විට සම්පූර්ණ ධාරිතාව ලබා ගැනීමට හැකිවෙතැයි එහිදී කියා සිටියේය.








