FAST NEWS

24×7 Around the Globe

විදුලිය කපා හැරීම අද සිට අත්හිටුවීමට හැකි බව විදුලි බලය කියයි.

බියගම විදුලි ට්‍රාන්ස්ෆෝමරය පුපුරා යැමත් සමඟ ස්‌වයංක්‍රීයව අක්‍රිය වූ නොරොච්චෝල, ලක්‌විජය ගල්අඟුරු බලාගාරය අද (17 වැනිදා) යළි විදුලි උත්පාදනය ආරම්භ කරන බැවින් විදුලිය කපා හැරීම අද සිට අත්හිටුවීමට හැකියාව ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා පැවැසීය.
ඒ අනුව නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට්‌ තුන්සියයක්‌ මුලින්ම ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට නියමිත අතර ක්‍රමක්‍රමයෙන් සෙසු මෙගාවොට්‌ හයසීය සහිත බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර දෙකද ක්‍රියාත්මක කිරීමට නියමිත යෑයි ඒ මහතා කියා සිටියේය.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය ස්‌වයංක්‍රීයව නතර වූ පසු එය සිසිල් වන තුරු දින තුනක්‌ පමණ ගතවන බැවින් එය සක්‍රිය කිරීම මෙලෙස පමාවීම සාමාන්‍ය දෙයක්‌ යෑයිද ඒ මහතා කීය.
රට පුරාම විදුලිය බිඳ වැටීමට තුඩු දුන් බියගම ට්‍රාන්ස්ෆෝමරය වෙනුවට අතිරේක ට්‍රාන්ස්ෆෝමරයක්‌ සවි කිරීමද ආරම්භ කර ඇති අතර අදාළ සිද්ධිය වූ මොහොතේ අමතර ට්‍රාන්ස්ෆෝමරයද අලුත්වැඩියා කටයුතුවලට ලක්‌වෙමින් තිබූ බව ඒ මහතා පැවැසීය.
ඒ අනුව විශේෂ හේතුවක්‌ නොවන්නට අද(17) විදුලිබල සැපයුම සාමාන්‍ය ආකාරයට පත්වනු ඇතැයිද ඒ මහතා කියා සිටියේය.