FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලාංකික සරණාගතයෙක් තමිල්නාඩු කඳවුරක දී දිවි නසා ගනී (දර්ශන සහිතයි)

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරෙයි හි පිහිටි සරණාගත කඳවුරකදී අධි බලැති විදුලි රැහැනක් ස්පර්ශ කිරීමෙන් ශ්‍රී ලාංකික සරණාගතයකු වන පී. රවීන්ද්‍රන් (48) නැමැත්තා සියදිවි නසා ගෙන තිබේ.
මදුරෙයි තිරුමංගලම්හි පිහිටි මෙම සරණාගත කඳවුරේ සරණාගත පවුල් 500ක් පමණ වෙසෙති. මෙම කඳවුරේ සංගණනයක් සිදු කරන අවස්ථාවක එහි නොසිටීම හේතුවෙන් කඳවුරේ නිලධාරියකු පී. රවීන්ද්‍රන් හට බැණ වැදී ඇතැයි වාර්තා වෙයි. ඒ කඳවුරේ රැඳී නොසිටීම සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ හේතු පිළිගත නොහැකි යැයි පවසමිනි.
තම පුත්‍රයා රෝහල් ගත කර ඇති බව පිළිගත නොහැකි යැයි පවසමින් කඳවුරේ නිලධාරියා අනුගමනය කළ ක්‍රියාකලාපය නිසා සිත් තැවුලට පත් රැඳවියා මෙසේ සියදිවි නසාගෙන ඇතැයි පැවසේ.
48 හැවිරිදි රවීන්ද්‍රන් කඳවුර අසල පිහිටි අධි බලැති විදුලි කණුවකට නැඟ එහි රැහැනක් ස්පර්ශ කිරීමෙන් මෙසේ සිය දිවි නසා ගෙන ඇත.
ඔහු ගේ සිය දිවි නසාගැනීම පිළිබඳ කෝපයට පත් කඳවුරේ සෙසු පිරිස රවීන්ද්‍රන්ට බැණ වැදුණු නිලධාරියාට පහර දී තුවාල සිදුකර තිබේ. ඇති වූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට පොලීසියේ 300කට අධික පිරිසක් යෙදවීමට ද සිදු   වී ඇත.
දේහය පිළිබඳ මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව ඔහු ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එම  කඳවුර ආසන්නයේ පිහිටි භූමියක සිදුකර ඇතැයි වාර්තා වෙයි.

[youtube url=”https://www.youtube.com/watch?v=rUHC0tGwwmY&feature=youtu.be” width=”560″ height=”315″]