නාවුරු දූපතෙන් පිටවී යාමට කැමති, නාවුරු දූපතේ දැනට රැඳී සිටින සරණාගතයන්ට දිරිදීමනාවක් ගෙවීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.
මෙලෙස දිරි දීමනාවක් ගෙවන්නේ ඔවුන් පෙරළා තම මවු රටට හෝ වෙනත් රටකට යාමට අවශ්‍ය වියදම් පිරිමසා ගැනීම සඳහා බව වාර්තා වේ.
නාවුරු සහ මැනුස් දූපත්වල සරණාගතයන් රඳවා තැබීම නිත්‍යානුකූල බැව් මහාධිකරණ තීන්දුවක් ලබාදීමත් සමඟ එරට ගුවන්විදුලිය ඇමතූ අගමැති මැල්කම් ටර්න්බුල් මහතා පැවසුවේ දූපත්වල රඳවා ඇති සරණාගතයන්ට පහසුකම් සලසන අතරම ඔවුන්ට වෙනත් විකල්ප තෝරාගැනීම සඳහාත් තම ආණ්ඩුව දිරි දෙන බවයි.
‘ඔවුන්ට තම මවුරටට යන්නටත් නැත්නම් වෙනත් රටක පදිංචිවීම සඳහා අවශ්‍ය මූලික වියදම් පියවාගැනීමට දිරි දීමනාවක් ගෙවන්න සූදානම්‘
මෙම දිරිදීමනාවට අඩංගු වන්නේ කොපමණ මුදලක්දැයි ආගමන දෙපාර්තමේන්තුවෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ පෙරළා තම මව් රටට යෑමට ගුවන් ටිකට්පත් ගාස්තුව සහ ආපසු ජීවිතය පටන් ගැනීමට ආධාර මුදලක් ඊට අඩංගු වන බව ය.
වෛද්‍ය පහසුකම් ලබා දීම සඳහා ඔස්ට්‍රේලියාවට රැගෙන ආ තවත් සරණාගතයන් 267 දෙනකු නාවුරු දූපත වෙත යළි පිටත් කර යැවීමට නියමිතව තිබියදී මෙම තීරණය ගෙන ඇත.








