FAST NEWS

24×7 Around the Globe

ඊයේ සිදුවූ භූ කම්පනයෙන් පසු ඇතිවු කම්පන වලින් සුමාත්‍රා ජනතාව කැළඹෙයි.

ඉන්දුනීසියාවට ඔබ්බෙන් සාගරයේ ඊයේ සිදුවූ භූ කම්පනයෙන් පසුව අද (03) අලුයම් කාලයේ ඇති පසු කම්පන හේතුවෙන් සුමාත්‍රා දූපත්වල ජීවත්වන ජනතාව අනියත බියකින් හිස් ලූ ලූ අත දිවගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ඊයේ සිදුවූ රික්ටර් පරිමාණ 7.8 ක භූ කම්පනය පැඩන්ග් වරාය නගරයේ සිට කිලෝමීටර් 808ක් නිරිත දිගින්, කිලෝමීටර් 10ක් ගැඹුරින් අපිකේන්ද්‍රය සටහන් කරමින් සිදුවූ බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය  පැවසීය.
මෙය 8.2ක භූ කම්පනයක් ලෙස ඉන්දුනීසියානු බලධාරීන් සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබුණත්, පසුව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ දත්ත අනුව එය 7.8ක භූ කම්පනයක් බවත් සුනාමි අනතුරක් නොමැති බවත් කියවුණි.
කෙසේ වෙතත්,  භූ කම්නයෙන් පසුව ඊයේ රාත්‍රී සහ අද අලුයම් කාලයේදී පසු කම්පන 6ක් පමණ ඇති වූ බව ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, සුමාත්‍රා දූපත්වල ජනතාව උස්බිම් කරා දිවයන ආකාරය දැකිය හැකි වුවත්, වැරදි තොරතුරු හා කටකතා මත අනවශ්‍ය කලබල වීමක් අවශ්‍ය නොවන බව එරට ආපදා කළමනාකරණ ආයතනය ජනතාවට දැනුම් දී තිබුණි.
එමෙන්ම, මේ භූ කම්පන තත්ත්වය හේතුවෙන් මෙතෙක් ජීවිතහානි හෝ දේපොළ හානි වාර්තා වී නොමැති බවත්, ජනතාව ක්‍රමයෙන් තම සාමාන්‍ය ජීවිතයට පිවිසෙමින් සිටින බවත් සුමාත්‍රා දිවයින් ආශ්‍රිතව තොරතුරු වාර්තා වෙයි.
මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවටද සුනාමි තත්ත්වයක් නොමැති බව ඊයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබුණි.