FAST NEWS

24×7 Around the Globe

දෙමටගොඩදී බන්ධනාගාර බසයට වෙඩි තැබීම ගැන පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට.

කොළඹ මහාධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා සැකකරුවන් රැගෙන යමින් තිබූ කළ බස් රථයට ඊයේ (03) වෙඩි ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධියට සම්බන්ධ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දි ඇති බවයි.
කොළඹ මහාධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා සැකකරුවන් ප්‍රවාහනය කළ බස් රථයකට ඊයේ (03)  පස්වරුවේ දෙමටගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පළා ගොස් තිබුණි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ගමන්ගත් බස් රථයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී චමින්ද ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද නැමැත්තාට වෙඩි වැදී තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර එහිදී හදිසි සැත්කමකටද භාජනය කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියි.
කෙසේවෙතත් මේ වන විට ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානයද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.