FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අධිකරණයෙන් දැඩි අවවාද.

අධිකරණයේ ගරුත්වය ආරක්‍ෂා වන ආකාරයෙන් කටයුතු කිරීමට වග බලාගන්නා ලෙසත් එසේ කටයුතු නොකරන්නේ නම් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමට අධිකරණයට සිදුවන බවත් පෙන්වා දෙමින් කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඊයේ (29) පස්‌වරුවේ දැඩි ලෙස අවවාද කළේය.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ සාක්‍ෂි විභාගය පැවැත්වෙමින් තිබියදී පස්‌වරු 3.10-03.15 ට පමණ අධිකරණ ශාලාවට ඇතුළු වූ මන්ත්‍රීවරිය දොරටුව අසලදී හෝ අසුන් ගැනීමට පෙර හිස නමා අධිකරණයට ආචාර කිරීමක්‌ සිදුනොකළ බව නිරීක්‍ෂණය කළ විනිසුරු මඬුල්ල ඇයව අසුනින් නැගිට්‌ටවා එලෙස දැඩිව අවවාද කළේය.