FAST NEWS

24×7 Around the Globe

අද පෙරවරුවේ විශේෂ පාර්ලිමේන්තුවේ සැසිවාරයක්

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් පුරවැසියන් තිදෙනා සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වෙන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරියක මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු නියෝජිතවරියක ලෙස කටයුතු කළ රාධිකා කුමාරස්වාමි සහ හිටපු අභියාචනාධිකරන විනිසුරුවරයෙකු වූ ඒ. ඩබ්ලිවු. ඒ සලාම් යන මහත්ම මහත්මීන් යෝජනා වී තිබේ.

ව්‍යවස්ථා සභාවේ සෙසු සියලු සාමාජිකයින් පත් කිරීම අවසන් බව අජිත්.පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා පැයසුවේය.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපති සහ අගමැති විසින්, පාඨලී චම්පික රණවක සහ විජේදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා විරුද්ධත්වය පළ කර තිබුණි.
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ මෙම විරුද්ධත්වය පදනම් විරහිත බව අජිත්. පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කෙරුණු පසුව යෝජිත කමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමටද හැකියාව ලැබෙනු ඇත.

මැතිවරණ කොමිසම , රාජ්‍ය සේවා කොමිසම , ජාතික පොලිස් කොමිසම, විගණන සේවා කොමිසම, මානව හිමිකම් කොමිසම ඇතුළු කොමිෂන් සභා සඳහා නිලධාරීන් පත් කෙරෙනු ඇති බව අජිත්. පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ‍ය..