බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසම වෙත අතිරේක බලතල පැවැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කොට තිබේ.
එම අතිරේක බලතල ජනාධිපති කොමිසම වෙත පැවැරීම පිළිබඳව ජනාධිපතිවරයා විසින් අංක 1952/02 යටතේ පසුගිය 01දා සිට ක්‍රියාත්මක වන පරිදි එකී බලතල පැවැරෙන අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
එම ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත බලතල අනුව යම් තැනැත්තකුගේ ක්‍රියාකලාපය පිළිබඳ පරීක්ෂා කරගෙන යනු ලබන්නේද ඒ තැනැත්තාගේ හෝ ඒ තැනැත්තාගේ ස්වාමි පුරුෂයාගේ / භාර්යාවගේ හෝ පුතකුගේ දුවකුගේ හෝ ගිණුමට අදාළ සටහන් ඇතුළත් බැංකුවේ යම් පොතක් හෝ ලේඛනයක් දැන්වීමෙහි සඳහන් පරිදි ඉදිරිපත් කරන ලෙසත් එසේ නැතහොත් ඒ සටහන්වල සහතික පිටපත් එසේ සඳහන් කර ඇති පරිදි සපයන ලෙසත් ශ්‍රී ලංකාවේ යම් බැංකුවක කළමනාකාරවරයාට ලිඛිතව දැන්වීමක් මඟින් නියම කළ හැකිය.
කොමිෂන් සභාව විසින් යම් තැනැත්තකුගේ ක්‍රියාකලාපය පිළිබඳව පරීක්ෂා කරගෙන යනු ලබන්නේද ඒ තැනැත්තාගේ හෝ ඒ තැනැත්තාගේ ස්වාමි පුරුෂයාගේ හෝ භාර්යාවගේ හෝ පුතකුගේ දුවකගේ හෝ කටයුතුවලට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ සන්තකයේ හෝ ඔහුගේ පාලනය යටතේ ඇති ඒ තැනැත්තාට ස්වාමියාට/ භාර්යාවට පුතාට හෝ දුවට අදාළ වන්නා වූ යම් ලේඛනයක සහතික පිටපතක් හෝ දැන්වීමෙහි සඳහන් කර ඇති පරිදි ඉදිරිපත් කරන ලෙස හෝ සපයන ලෙස එම කොමසාරිස්වරයාට ලිඛිතව දැන්වීමක් මඟින් නියම කළ හැකිය.
මෙම කොමිෂන් සභාවේ ඉහතින් දක්වා ඇති කාර්යයන් ක්‍රියාවට නංවනු පිරිස අවශ්‍ය විය හැකි සියලුම පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා එම ගැසට් පත්‍රයෙන් නියම කර ඇත.
ජනාධිපතිවරයාගේ නියෝග මත එම ගැසට් පත්‍රිකාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා අස්සන් කොට තිබේ.
එම ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණයේ විනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන, මහාධිකරණ විනිසුරුවරුන් වන දේගිරි අමේන්ද්‍ර මෙන්ඩිස් සෙනෙවිරත්න, කුලතුංග මුදියන්සේලාගේ ගිහාන් හිමාන්ශු කුලතුංග, විකුම් අතුල කළුආරච්චි සහ විශ්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරලේ ආරච්චිගේ පේමතිලක යන කොමිසමේ සාමාජිකයන් වෙත ශුභාශිංසන පූර්වකව අමතමින් විනිසුරුවරුන්ගේ විචක්ෂණභාවය හා සාමාර්ථය ගැන මහත්වූ භක්තිය හා විශ්වාසය තබමින් පූර්වෝක්ත අධිකාරි පත්‍රය මඟින් පිහිටුවනු ලැබූ පරීක්ෂණ කොමිෂන් සභාවේ ඉහතින් දක්වා ඇති කාර්යයන් ක්‍රියාවට නංවනු පිණිස අවශ්‍ය විය හැකි සියලුම පියවර ගන්නා මෙන් ඔබතුමන්ලාට නියම කරමි යනුවෙන් එම ගැසට් පත්‍රයේ සඳහන් කොට තිබේ.
කොමිෂන් සභාවට ලැබී ඇති පෙත්සම්වල ස්වභාවය හා පැවැරී ඇති කාර්යභාරය ඵලදායි ලෙස ඉටුකිරීමට අතිරේක බලතල අවශ්‍ය බව කොමිසම ඉල්ලීමක්ද කර තිබිණි.







