FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටිය සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පසුගිය දා පොලීසිය සමග ඇතිකරගත් ගැටුමකදී මිය ගිය එක් දරු පියාගේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.

පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා කියා සිටියේ නීතිපති උප‍දෙස් අනුව ඊයේ දිනයේ මෙම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බවයි.

ඒ අනුව අද දිනයේ මේවන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඇඹිලිපිටිය ප්‍රදේශයට පිටත්කර යැවූ බව පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉකුත් ජනවාරි මස 04 වන දින ඇඹිලිපිටිය නව නගර පාරේ තෙමහල් ගොඩනැඟිල්ලක සාදයක් පැවැත්වෙමින් තිබියදී පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ නිවැසියන් සමග ඇතිකරගත් ගැටුමෙන් බරපතළ තුවාල ලැබූ සුමිත් ප්‍රසන්න නැමති එක්දරු පියා දින 3ට පසු 07 වන දින අලුයම 1.05ට පමණ රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මූලාරම්භයේදීම කියා සිටියේ පොලීසිය සමග ඇතිකරගත් ගැටුමෙන් පසු අත්අඩංගුවට පත්වීමෙන් වැළකීමට මෙම පුද්ගලයා ඉහළමාලයෙන් බිමට පැනයාමට උත්සාහ කිරීමෙන් මෙලෙස බරපතළ තුවාල ලබා පසුව ජීවිතක්ෂයට පත්වූ බවයි.

එහෙත් මිය ගිය එක්දරු පියාගේ බිරිඳ පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ සිය සැමියාට පොලිස් නිලධාරීන් විසින් පහරදී ඉහළමාලයෙන් පහලට තල්ලු කරදැමූ බවයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සාක්ෂි සටහන් කරගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා යැවීම සම්බන්ධයෙන්ද මතභේදයට ලක්වී තිබියදී මෙලෙස නීතිපති උපදෙස් මත පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකිරීම සිදුවිය.