FAST NEWS

24×7 Around the Globe

පළමු වසරේ පටන් ලිංගික අධ්‍යාපනය.

පළමු වසරේ පටන් පාසල් විෂය මාලාවට ජීවන කුසලතා විෂය යටතේ ලිංගික අධ්‍යාපනය එක් කරන ලෙස කළ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟත්වය ලැබී ඇතැයි ජාතික ළමා ආරක්‌ෂක අධිකාරියේ සභාපතිනී නටාෂා බාලේන්ද්‍රන් මහත්මිය ප්‍රකාශකර සිටියාය.

ඇය මේ බව පවසා සිටියේ ඊයේ (22 දා) කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.

ළමා අපචාර පැමිණිලි 10732 ක්‌

2015 වර්ෂයේ ලංකාවෙන්ම ළමා අපචාර පැමිණිලි 10732 ක්‌ තම ආයතනය වෙත ලැබී ඇති අතර ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන 1522 ක ප්‍රමාණය කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වාර්තා වී ඇතැයි ද නටාෂා බාලේන්ද්‍රන් මහත්මිය පැවසුවාය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ බාලේන්ද්‍රන් මහත්මිය,

මෙම වසරේදී ප්‍රධාන අරමුණ යොමුවන්නේ පාසල් පරිසරය වෙතයි. පාසල්වල පිහිටුවා ඇති ළමා ආරක්‌ෂක කමිටු සඳහා කොට්‌ඨාස මට්‌ටමින් මාසයට එක්‌ දිනක්‌ පුහුණු වැඩසටහන් පැවැත්වීම, නියමු ව්‍යාපෘතියක්‌ ලෙස පාසල්වල ගුරුවරුන්ට පුහුණු වැඩසටහන් පැවැත්වීම, ළමා ආරක්‌ෂාව සම්බන්ධ අන්තර් පාඨශාලා, විවාද තරග ඇති කිරීම, ළමා ආරක්‌ෂාව පිළිබඳ පණිවුඩය, පාසල් පුරා ප්‍රචාරය කිරීම මේ තුළින් සිදුකරනවා.

පීතෘ නිවාඩු ක්‍රමයක්‌

ළමුන්ගේ වැඩ කටයුතු මවට පමණක්‌ නොව පියා වෙතද භාර දීමට අපි කටයුතු කරනවා. මේ සඳහා පීතෘ නිවාඩු ක්‍රමයක්‌ හඳුන්වා දීමට අපේ අදහසයි. පවුල් ශක්‌තිමත් කිරීම හා පියාගේ කාර්යභාරය පිළිබඳ යළි සිතා බැලීම මේ තුළින් කෙරෙනවා.

අපයෝජනයට පත්වූ ළමුන් ආරක්‌ෂා කිරීම

අපයෝජනයට පත්වූ ළමුන් ආරක්‌ෂා කිරීමෙන් අපි විවිධ ක්‍රමවේද සකස්‌ කරනවා. වෙනම කාන්තා හා ළමා පොලිස්‌ කොට්‌ඨාශයක්‌ ලබා ගැනීම, ඔවුනට අදාළ නඩු විභාග කිරීම සඳහා වෙනම දිනයක්‌ ලබා ගැනීම, අපයෝජනයට පත් ළමුන්ට අදාළ සෙසු ආයතන, ළමා හිතකර විදියට කටයුතු කිරීම සියලුම ළමුන් පිළිබඳ ප්‍රගති අධීක්‍ෂණය කිරීම ආදිය පිළිබඳවත් මෙම වසරේදී අවස්‌ථා සැලසීමට කටයුතු කරන බවටත් ඇය පවසා සිටියාය.