FAST NEWS

24×7 Around the Globe

පෝර්ට් සිටි යළි කි‍්‍රයාත්මක කළහොත් ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නවා- සජීව චාමිකර

පැවති ගැටලූකාරී තත්ත්වයන් එලෙසම තිබියදී පෝර්ට් සිටි ව්‍යාපෘතිය යළි ආරම්භ කරන බවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ නිකුත් කරන්නේ කෙසේදැයි පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය ප‍්‍රශ්න කරනවා.

එහි සම කැඳවුම්කරු පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දෙන්නේ පැවති ගැටලූකාරී තත්ත්වයන් හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය නතර කරන බවට රනිල් වික‍්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයාව සිටියදී මැතිවරණ පොරොන්දුවක් ද ලබාදුන් බවයි.
කෙසේ වෙතත් අදාළ ව්‍යාපෘතිය යළි ආරම්භ කරන බවත් චීනය සමග ඇති සබඳතා ශක්තිමත් කරගන්නා බවත්, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉකුත් දා ප‍්‍රකාශ කළා.
කෙසේ වෙතත් පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දෙන්නේ එලෙස පෝරට් සිටි ව්‍යාපාරය යළි ආරම්භ කළ හැකි තත්ත්වයක් නොමැති බවයි.
බලහත්කාරයෙන් පෝර්ට් සිටි ව්‍යාපෘතිය යළි කි‍්‍රයාත්මක කළහොත් ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවද සජීව චාමිකර මහතා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පනවා ඇති නඩුව ලබන සඳුදා යළි විභාගයට ගැනෙනවා.
අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පරිසර සංවිධානවලට නියෝග කර තිබෙනවා. ඒ අනුව පරිසර සංවිධාන විසින් ලබාගත් මහජන අදහස් එදිනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇති.