FAST NEWS

24×7 Around the Globe

නව පෙරමුණේ නායකත්වයට මහින්ද හා ගෝඨාගේ නම් යෝජනා වෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරියේදී නිර්මාණය කිරීමට සැරසෙන නව පෙරමුණේ නායකත්වය ලබාදිය යුත්තේ කාටද යන්න පිළිබඳව මේ දිනවල ඔවුන් සිදුකරන සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එහි නායකත්වය ලබාදිය යුතු බවට දැනට සිදුකෙරුණු සාකච්ඡාවලදී අවධානය යොමුවී තිබෙන අතර, යම් හෙයකින් ඒ මහතා එය ප්‍රතික්ෂේප කළහොත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එම නායකත්වය ලබාදිය යුතු බවට යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කොටසක්, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ එක්වී දැනට සිදුකෙරෙන සාකච්ඡාවලට හිටපු ජනාධිපතිවරයාගේ සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහාය ලැබෙන බවද වාර්තා වේ.