FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ විභාගයේ සැකැස්ම වෙනස් කිරීමට පියවර.

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දැනට පවතින සැකැස්ම වෙනස් කිරීමට ජාතික අධ්‍යාපනය ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම විභාගයේදී ශිෂ්‍යයින් පෙනී සිටිය යුතු විෂය සංඛ්‍යාව අඩු කිරීමට නියමිත බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ගණිතය සහ ඉංග‍්‍රීසි විෂයන් සඳහා ලබාදෙන ප‍්‍රශ්න පත‍්‍රවල ද කැපීපෙනෙන වෙනසක් මෙහිදී සිදුකිරීමට අපේක්ෂිත අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙර ශිෂ්‍යයින්ට බුද්ධි පරීක්ෂණයක් හඳුන්වාදීමට ද අපේක්ෂිතය.

සාමාන්‍ය පෙළ විභාගයට ගණිතය සහ විද්‍යාව යන විෂයන් සඳහා ප‍්‍රශ්න පත‍්‍ර කට්ටල දෙකක් ලබාදීම 1999 වසරේ දී සිදුකෙරුණු අතර එම වසරේදීම ප‍්‍රශ්න පත‍්‍ර කට්ටල දෙක සඳහා ප‍්‍රතිඵල වෙන වෙනම ලබාදීම ද එම වසරේදී සිදුකෙරුණි.

අදාළ එක් ප‍්‍රශ්න පත‍්‍ර කට්ටලයක් සාපේක්ෂව සරල වන අතර, අනෙක් ප‍්‍රශ්න පත‍්‍ර කට්ටලය තරමක් සංකීර්ණය.

අධ්‍යාපන ආයතනයෙන් යෝජිත වෙනස්කම්වලින් අපේක්ෂා කරන්නේ සාමාන්‍ය පෙළ විභාගය සමත් වන ශිෂ්‍යයින් සංඛ්‍යාව වැඩි කිරීමට බව මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා කියා සිටියේය.

තවදුරටත්අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශකර සිටියේ සාමාන්‍ය පෙළ විභාගය අසමත් වී පාසල් ගමන නිමාකරනවාට වඩා සාමාන්‍ය පෙළ සමත් වීම ශිෂ්‍යයින් මානසික වශයෙන් ශක්තිමත් වීමට ද හේතුවක් බවය.

යෝජිත වෙනස්කම් 2017 වසරේ දී 10 ශ්‍රේණියට හඳුන්වාදීමට අපේක්ෂිතය.

ඒ අනුව නව ක‍්‍රමය යටතේ සාමාන්‍ය පෙළ විභාගය 2018 වසරේදී පළමු වරට පැවැත්වෙනු ඇත.