ඉඩම් ප්රශ්නය ඇතුළු උතුරේ ජනතාවගේ ගැටළු පිළිබඳව සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාදීමට සූදානම් බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිඥා දුන්නේය.
අගමැතිවරයා ඒ බව කියා සිටියේ යාපනය, වීරසිංහම් ශාලාවේ ඊයේ (15) පැවති ජාතික තෛපොංගල් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙසින් සහභාගි වෙමිනි.
ජාතික තෛපොංගල් උත්සවය නිමිත්තෙන් ඊයේ (15) යාපනයේ – පලාලි, රාජේශ්වරී අම්මන් කෝවිලේ සංවිධානය කර තිබූ විශේෂ තෛපොංගල් චාරිත්‍ර සහ ආගමික වතාවත්වලට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.
දෙමළ ජනතාවගේ බොහෝ දෛනික ගැටළු විසඳී නොමැති වාතාවරණයක උතුරේ ජනතාව තෛපොංගල් සමරන්නේ කෙසේ දැයි මහ ඇමති විග්නේශ්වරන් මහතා කළ සඳහනට ප්‍රතිචාරය පළ කළ අගමැතිවරයා, උතුරේ ඉඩම් අක්කර හමුදාව යටතේ 4600 ක් තවමත් හමුදාව භාරයේ පවතින බව පිළිගත්තේය.
සංවර්ධනයට අවශ්‍ය ඉඩම්, ජනතාවට අවශ්‍ය ඉඩම් සහ ආරක්ෂාව සඳහා අවශ්‍ය ඉඩම් ලෙසින් හඳුනාගෙන සාකච්ඡා මාර්ගයෙන් එම ගැටලුව විසඳීමට සූදානම් බව අගමැතිවරයා පවසයි.
උතුරු නැගෙනහිරට ශිෂ්‍ය භට බලකායන් :
මහ ඇමති විග්නේශ්වරන් මහතාගේ තවත් මැසිවිල්ලක් වුනේ ආණ්ඩුවේ උපදෙස් සහ තොරතුරු ඇතුලත් ලිපි ලේඛන තවමත් උතුරට ලැබෙන්නේ දෙමළ භාෂාවෙන් නොව සිංහල භාෂාවෙන් බවයි.
දෙමළ භාෂාව කතාකරන පුද්ගලයන් පොලිසියට පමණක් නොව ආරක්ෂක හමුදාවලට පවා බඳවාගන්නා බව පවසන අගමැතිවරයා, එහි මුල් පියවර ලෙසින් උතුරේ සහ නැගනහිර පාසල්වල ශිෂ්‍ය භට බලකායන් ඇතිකරන ලෙස අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට උපදෙස් දුන් බවත් සඳහන් කළේය.
දෙමළ ජනතාව පමණක් නොව දකුණේ ඇතැම් දේශපාලන කණ්ඩායම් පවා නිතරම මැසිවිලි පළ කරන ත්‍රස්ත විරෝධී නීතිය ‘යල් පැනගිය නීතියක්’ ලෙසින් විග්රහ කළ අගමැතිවරයා, එය අහෝසි කොට බ්‍රිතාන්‍යයේ පවතින ආකාරයේ නීතියක් හඳුන්වාදීම කෙරෙහි සිය අවධානය යොමු වී තිබෙන බවත් පැවසීය.
නව ව්‍යවස්ථාව :
නව ව්‍යවස්ථාව සම්පාදනය කෙරෙහි අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ, පළාත් සභා ඇතුළු සියලු පාර්ශව සමඟ සාකච්ඡා කොට විනිවිදභාවයකින් යුතුව නව ව්‍යවස්ථාව හඳුන්වාදීමට සිය ආණ්ඩුව සූදානම් බවයි.
“ව්‍යවස්ථාදායක කෙටුම්පතක් නම් නෑ. ඔය 18 වැනි සංශෝධනය කරා වාගේ, ජීඑල් පීරිස් ගේ ජුන්ටාව එක්ක නම් ව්‍යවස්ථා හදන්න ලෑස්ති නෑ,” ඔහු පැවසීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ආසියානු කටයුතු භාර එක්සත් රාජධානියේ අමාත්‍ය හියුගෝ ස්වයර්ද උත්සවයට සහභාගි වූහ.








