FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටියේ තරුණයාගේ මරණය ගැන අනුරගෙන් පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක්.

ඇතැම් සමාජ ‍ඛේදවාචකයකට පසුව පරීක්ෂණ පැවැත්වීම සාමාන්‍ය දෙයක් වුවද කලක් ගතවන විට පරීක්ෂණවලට සිදුවූ දෙයක් දැනගැනීමට නොහැකි බව ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (12) පාර්ලිමේන්තුවේදී ඇඹිලිපිටියේ සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

ඇඹිලිපිටිය මහඇළ ප‍්‍රදේශයේ තරුණයෙකු පොලිස් පහරදීම් හේතුවෙන් මරණයට පත්වූ බවට නැගෙන චෝදනා හමුවේ ප‍්‍රදේශවාසීන් තුළ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

පසුගියදා ඇඹිලිපිටිය මහඇළ ප‍්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර පොලීසිය සමග ඇති වූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් උඩු මහලකින් බිමට වැටුණු සුමිත් ප‍්‍රසන්න නම් 26 හැවිරිදි එක්දරු පියෙකු පසුගිය 07වැනි දින අළුයම රත්නපුර රෝහලේදී මියගියා. ප‍්‍රදේශවාසීන්ට අනුව ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් කිහිපදෙනෙකු එම ස්ථානයට පැමිණ මත්පැන් ඉල්ලීමෙන් පසු ඇති වූ බහින්බස් වීමකට පසුව උසස් පොලිස් නිලධාරියෙකු සමග සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට කඩා වැදී සියලූ දෙනාට පොලූවලින් පහරදීමට පටන් ගෙන තිබෙනවා. ප‍්‍රදේශවාසීන් පවසන පරිදි අදාළ තරුණයාට පහරදී ඇති පොලීසිය ඔහුව උඩුමහලින් බිමට තල්ලූ කිරීම හේතුවෙන් ඔහුගේ මරණය සිදුව තිබෙනවා. මේ සම්බන්ධ පොලීසියේ පැහැදිලි කිරීම වී ඇත්තේ සාදයේ ඝෝෂාව නතර කරන ලෙස ඉල්ලීම සමග ඇතිවූ ගැටුම්කාරී තත්වයකින් පසු අදාළ තරුණයා අත්අඩංගුවට ගැනීමට යාමේදී දිව ගොස් උඩු මහලින් බිමට පැන ඇති බවයි.

පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මියයාමේ සිදුවීම් බොහොමයක් පසුගිය කාලයේ අසන්නට ලැබුණා. ඇතැමෙක් ආයුද පෙන්වීමට යාමේදීද තවත් අය පලා යාමට උත්සාහ කරද්දීද මිය ගොස් තිබුණා. එම පැහැදිලි කිරීම් මහජනතාව කෙතෙක් දුරට විශ්වාස කළාද නැද්ද යන්න අමුතුවෙන් කිවයුතු නැහැ. පොලීසියේ “කැරැට්ටුව” හොඳ නැති බවට මහජනතාව තුළ වන අදහසට බොහෝදුරට වගකිව යුතු වන්නේද පොලීසියේ ඇතැමුන්ගේ ක‍්‍රියාකලාපය බවට සැක නැහැ. මෙම මරණය සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන්ගෙන් පොලීසියට එල්ල වන චෝදනා සැලකිල්ලට ගත යුතුව ඇත්තේ ඒ අනුවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ආයතන කිහිපයකින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජනමාධ්‍ය විසින් වාර්තා කළා. මෙවැනි සිදුවීමකින් පසු පරීක්ෂණ පැවැත්වීම සුපුරුදු අත්දැකීමක්.

ඇතැම් පරීක්ෂණවලට සිදුවූයේ කුමක්ද යන්න  පවා කලක් ගතවන විට දැනගන්නට නැහැ. කනගාටුදායක තත්ත්වය වනුයේ නැවතත් සමාජය අවදිවන්නේ තවත් මෙබඳුම බේදවාචකයකින් පසුව වීමයි. දශක ගණනාවක් හදිසි නීතිය යටතේ කටයුතු කිරීමට පුරුදුවීමෙන්ද අනීතික පාලනයන් තුළ නීතිය අතට ගැනීමට හුරුවීමෙන්ද පොලීසියට මහජනතාව සමග පවත්වා ගත යුතු සම්බන්ධතාවයේ සීමා මායිම් නිරවුල් වී නැහැ. අනෙක් අතට නීතියේ පාලනය ස්ථාපිත කරන බවට පොරොන්දු වී බලයට පැමිණි යහපාලන ආණ්ඩුවටද මෙම සිදුවීමේ වගකීමෙන් මිදීමට හැකියාවක් නැහැ.

එසේම දැනට යටපත් වී ඇති නමුදු මෙම සිදුවීම සම්බන්ධව මහජනතාව තුළ පවතින්නේ, බලවත් නොසන්සුන්කාරී තත්වයක්. සාධාරණයක් ඉටුවූ බවට ඔවුනට ඒත්තු යන ආකාරයට විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් නොපමාව පවත්වා ඊට සම්බන්ධ වරදකරුවන්ට අදාළව නීතිය ක‍්‍රියාත්මක කිරීමද තවත් තැනක මෙවැනි කණගාටුදායක සිදුවීම් ඇති නොවන පරිදි පොලීසියේ ප‍්‍රතිසංවිධාන කටයුතු කිරීමද ආණ්ඩුවේ අත්හළ නොහැකි වගකීමක් වෙනවා.
මේ තත්වය තුළ පැන නගින පහත ගැටළුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

1. මෙම සිදුවීමට අදාළව ආණ්ඩුවේ පාර්ශවයෙන් සිදුවන පරීක්ෂණ මොනවාද? ඒවායේ ප‍්‍රගතිය කවරේද?

2. උසස් පොලිස් නිලධාරියෙක් මෙම සිදුවීමට සම්බන්ධ වී ඇත්තේ කෙසේද?

3. සිදුවීමට සම්බන්ධ වරදකරුවන් සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීමටත් මිය ගිය අය හා තුවාල ලැබූවන්ට වන්දි ගෙවීමටත් පියවර ගනු ලබන්නේද?

4. මෙවැනි කනගාටුදායක සිදුවීම් වළක්වා ගැනීම සඳහා ගනු ලබන දිගුකාලීන පියවර කවරේද?

මෙම ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් විවාදයට එක්වුණු  දක්ෂිණ සංවර්ධන, නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මත දෙකක් ඇති බව හා ප්‍රදේශවාසීන් පවසන පරිදි මෙම පුද්ගලයාට පොලීසිය විසින් පහරදී උඩුමහලින් බිමට තල්ලු කර ඇති බවට වන මතය පිළිගැනීමට සාක්ෂි නොමැති බවයි.

එහෙත් එම පුද්ගලයා බිමට වැටෙනු දැක ඇති ඇසින් දුටු සාක්ෂි තිබෙන බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

එම අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ පොලීසියට බියේ උඩුමහලින් පැන බේරෙන්නට තරම් එම තරුණයා ස්පයිඩර් මෑන් කෙනෙක් නොවන බැවින් මෙම මතය පිළිගත නොහැකි බවයි.