FAST NEWS

24×7 Around the Globe

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් යුද හමුදාපතිවරයාට එරෙහිව නඩු.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කරන පරීක්‍ෂණ සඳහා සහාය නොදීම සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදාපතිවරයාට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධව හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (11 දා) ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ නියෝගයක්‌ කඩකරනු ලැබුවහොත් දණ්‌ඩ නීති සංග්‍රහයේ 185 වැනි වගන්තිය යටතේ පුද්ගලයකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරිය හැකි බවයි.

එක්‌නැලිගොඩ ඝාතන සිද්ධිය සම්බන්ධව කරන පරීක්‍ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සහාය වන ලෙස හෝමාගම අධිකරණයෙන් ඉකුත් සැප්තැම්බර් 28 වැනිදා යුද හමුදාපතිවරයාට නියෝගයක්‌ ලබා දෙන ලදී.

එහෙත් එම නියෝගය කඩ කර ඇති යුද හමුදාපතිවරයා එම ඝාතන සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි වැදගත් ලිපි ලේඛන කිසිවක්‌ භාරදීමටද ක්‍රියා කර නැතැයිද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

එක්‌නැලිගොඩ පැහැරගෙන ගොස්‌ රඳවා සිටි ගිරිතලේ හමුදා කඳවුරේ රහස්‌ ලිපි ලේඛන කිහිපයක්‌ ලබා දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය මාර්ගයෙන් යුදහමුදාපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

එහෙත් යුද හමුදාවේ නීති අධ්‍යක්‍ෂවරයා විසින් තමන් වෙත ලබාදී තිබූ ගිරිතලේ කඳවුරේ රහස්‍ය ලිපි ලේඛන අසත්‍ය සහ අසම්පූර්ණ ඒවා බවත් ඇතැම් ලිපි ලේඛන ලබාදීම පැහැර හැර ඇති බවත් හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා වෙත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11 දා) දැනුම් දී ඇත.