FAST NEWS

24×7 Around the Globe

සහජීවනයේ සුරක්‍ෂිත භාවය රැක ගැනීම නව වසරේ පොදු අධිෂ්ඨානයයි – ජනපති

බලය අත් හරිමින් ජනතාව බල ගැන්වීමේ කාර්ය ස්‌ථානය එළඹෙන නව වසර සමඟද සබැඳිව ඉදිරියට යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව අවුරුදු සුබ පැතුම් පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එළඹෙන 2016 වසර සඳහා සියලු ජනතාවට සුබ පතමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර එවා ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

සුවහසක්‌ අපේක්‍ෂා සහ බලාපොරොත්තු අප අභිමුව දැල්වෙමින් තිබේ. මේ එළැඹී තිබෙන්නේ නිශ්චිතවම අප පසුගිය ජනවාරියේ අපේත්, අපේ අනාගත පරම්පරාවන්ගේත් ජීවිත නව හැරවුම් ලක්ෂ්‍යයකට යොමු කළ තීරණාත්මක ප්‍රවේශය ඔස්‌සේ වඩාත් ජව සම්පන්න ලෙස තිරසාර අරමුණින් ඉදිරිය බලා ගමන වේගවත් කළ යුතු කඩ ඉමකටය.

පසුගිය ජනවාරි පළවැනිදා මා ඔබට පිරිනැමූ අවුරුදු සුබ පැතුම් පතින් අවධාරණය කළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, දූෂණය සහ භීෂණයේ නිමාව, සංහිඳියාව සේම බිඳී ගිය ජාත්‍යන්තරයේ හොඳ හිත නැවත ඇති කර ගැනීම වැනි සාධනීය ප්‍රතිලාභ අද අපි අත් විඳින්නේ ජනවාරියේ ඔබ එළැඹී අධිෂ්ඨානයේ විපුල ප්‍රතිඵල ලෙසිනි.

එදවස ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය එලෙසින්ම රකිමින් ඔබට දුන් පොරොන්දු ඉටු කරමින් 2015 ඔබේ ජයග්‍රහණයේ වසර බවට පත් කළෙමි.

එළැඹි 2016 වසර ඔබට ද අපට ද, අවිවේකී වසරක්‌ වනු නිසැකය. මිලියන විසි දෙකක ජනතාවගේ අනාගතය උදෙසා අප ඇරඹූ යෝධ වැඩපිළිවෙල ඔස්‌සේ, අනවරත ගමනක අප නිරන්තරව නිරත විය යුතුය.

අපගේ යහපත් ආකල්ප මෙන්ම අවෛරී ෙච්තනා ද බලය වැළඳ ගැනීම නොව බලය අත් හරිමින් ජනතාව බලගැන්වීමේ කාර්ය සාධනය ද සමග අප ශ්‍රී ලාංකීය දේශපාලනයේ චිරාගත හැඩතලය සපුරා වෙනස්‌ කළෙමු. ඒ සියල්ල එළැඹෙන නව වසරේ න්‍යාය පත්‍රය හා සමගද සබැඳිය.

ජයග්‍රහණයේ සමස්‌ත අස්‌වැන්න නෙළිය හැකි වන්නේ අප එදා බැඳි විශ්වාසයෙන්, බැඳීමෙන් එක්‌ව. සාමූහිකත්වයෙන් ඉදිරි පියවර ගැනීම තුළිනි.

එහෙයින්ම නව වසරේ අපගේ පොදු අධිෂ්ඨානය විය යුත්තේ එකමුතු බව සහ ඒ තුළින් ශක්‌තිමත් වන සාමූහිකත්වයේත් සහජීවනයේත් සුරක්‍ෂිත භාවය ආරක්‍ෂා කිරීමය.

එකී අධිෂ්ඨානයන් ද පෙරදැරිව ප්‍රාර්ථනා දිදුළන නව වසරකට පළමු පියවර තබන ඔබට සහ ඔබේ ආදරණීයයන්ටත් නිදුක්‌ නිරෝගී සෞභාග්‍යමත් වසරක්‌ වේවායි ප්‍රාර්ථනා කරමි.

සු‚ දීඝායුකෝ භව
තෙරුවන් සරණයි!