නත්තල අර්ථවත් කර ගත හැක්‌කේ මනුෂ්‍යත්වය අත්වැල් බැඳගත් යහපත් පරිසරයක, ගුණ දම් සපිරි වටපිටාවකින් සහ නීතිය, සාමය යුක්‌තිය රජයන යහපත් දේශයකින් යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදට (25 වැනිදාට) යෙදෙන නත්තල් උත්සවය නිමිත්තෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
එම සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
ආදරය, පරිත්‍යාගය, කැපවීම තුළ දේවත්වය සහ මනුෂ්‍යත්වය එක්‌සත් වන අයුරු ලොවටම කියා දුන් කිතු සමිඳාණන්ගේ උපත සමරන අසිරිමත් උත්සවය නත්තලයි.
විමුක්‌තියේ මග කියා දෙන්නට, ප්‍රේමයේ ජීවිතය පහදා දෙන්නට මනු බව ගත් දේව පුත්‍රයාගේ උපත මහත් උත්කර්ෂයෙන් සමරන අපි එතුමන්ගේ ජීවිතාදර්ශය තුළ අපගේ ජීවිත ගොඩනගා ගන්නටද උත්සාහ කළ යුතු වෙමු.
වර්තමාන සමාජය ඉල්ලා සිටින්නේ ද ජාති, ආගම් භේද නොසලකන සාමය, සතුට පිරුණු දේවත්වය සහ මනුෂ්‍යත්වය අත්වැල් බැඳගත් යහපත් පරිසරයකි. ගුණ දම් සපිරි වටපිටාවකි. නීතිය, සාමය හා යුක්‌තිය රජයන යහපත් දේශයකි. ඒ වෙනුවෙන් එක්‌සත්ව, එක්‌සිත්ව කටයුතු කිරීම අපගේ යුතුකම වේ.
යේසුස් ක්‍රිස්‌තුන් වහන්සේගේ උපත සිදු වූ නත්තල් දිනය සමරන අප සැමට නත්තල අර්ථවත් කර ගත හැක්‌කේ එවිටය. ඔබ සැමට අසිරිමත් හා අර්ථවත් නත්තලක්…..







