FAST NEWS

24×7 Around the Globe

දෙමටගොඩ තරුණයා පැහැරගැනීමට හිරුණිකාගේ සම්බන්ධයක්?

දෙමටගොඩ ප‍්‍රදේශයේදී ඊයේ (21) පස්වරුවේ තරුණයෙකු පැහැරගෙන ගොස් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ සැකකරුවන්ද හඳුනාගෙන ඇති බවයි. ඔවුන් පොලිසිය වෙත භාරදෙන බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ප‍්‍රකාශ කළ බවත්, එහෙත් මේ දක්වා ඔවුන් කිසිවෙකු පොලිසියට පැමිණ නොමැති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

දෙමටගොඩ ප‍්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක සේවය කළ 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබෙනවා. ඊයේ (21) රාත‍්‍රී ඔහු මුදාහැර ඇති අතර මේ වන විට මෙම තරුණයා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ප‍්‍රකාශ කරන්නේ පැහැර ගැනුණු තරුණයාට පහරදීමක් සිදුව නොමැති බවයි. මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ පවුල් දෙකක් අතර ආරවුලක් නිසා බවද තමන් මැදිහත් වී එය සමථ කර පැහැර ගැනුණු තරුණයා මුදාහැරීමට කි‍්‍රයාකළ බවද ඇය ප‍්‍රකාශ කරනවා